ගාල්ල හබරාදුව ප්‍රදේශයේ  නිවසක ඇති කරන ලද සුනඛයෙකු ගැන අයිතිකරුට වුවමනාවක් නැතිව ගොස් තිබියදී අසල්වාසි කාන්තාවක විසින් ඌට කන්න බොන්න දී පසුව එම කාන්තාවගේ පුතා රහසේම සුනඛයාව විකුණා දැමීමෙන් පසු මිලට ගත් පුද්ගලයා සහ මුල් හිමිකරු අතර සුනඛයාගේ අයිතිය පිළිබඳ ගැටලුවක්
පසුගියදා අධිකරණයේදී විභාග විය.

හබරාදුව පොලිසිය විසින් කරන ලද කරුණුදැක්වීම් අනුව පිලාන ප්‍රදේශයේ නිවසක 'ලයන් ෂෙපර්ඩ්" නමැති වටිනාකමින් ඉහළ වර්ගයකට අයත් මෙම බලු පැටවා අයිතිය පිළිබඳ ගැටලුවට  ලක්විය. බලු පැටවාගේ මුල් හාම්පුතා මෙයට මාස කිහිපයකට පෙර බන්ධනාගාරගතවී තිබීම නිසා බලු පැටියාට කෑම බීම දී ඇත්තේ ඒ අසල පදිංචිව සිටි ඔහුගේ සහෝදරියකි.

දිනක් ඇය බල්ලාට කෑම රැගෙන යනවිට කුඩුවේ දොර හැර දමා තිබීම නිසා වැඩිදුරටත් සොයා බැලීමේදී බල්ලා අතුරුදන්ව ඇති බවත් පසුව ඌ විකුණා ඇත්තේ තම පුතා බවත් හෙළිකරගෙන තිබේ.

ඒ අනුව ක්‍රියාත්මකවූ පොලිසිය බල්ලා විකුණා තිබූ නිවසට ගොස් බල්ලා ද පොලිසියට
ගෙනැවිත් තිබෙන අතර බල්ලාගේ එන්නත් කිරීමේ සටහන් පොත ඇතුළු අනෙකුත් ලේඛන ද මිලටගත් පුද්ගලයා සතුව තිබියදී පොලිසිය සොයා ගෙන ඇත.

මේ අතර බල්ලාගේ අයිතිකාරිය බව පවසමින් අයිතිවාසිකම් කියන සිරගතවූ මුල් හිමිකරුගේ භාර්යාව පොලිසියට පැමිණ බල්ලා ඉල්ලා සිටි අවස්ථාවේ පොලිසියට ගෙන්වූ නව හිමිකරු කියා ඇත්තේ තමන් බල්ලාගේ අයිතිය නීත්‍යානුකූල ලිපි ලේඛනද සහිතව පවරාගෙන තිබෙන බවයි.

මේ නිසා පොලිසියට මෙය අධිකරණය වෙත ගෙනයාමට අවශ්‍ය වූ අතර මහේස්ත්‍රාත්වරයා පැවසුවේ  බල්ලාගේ අයිතිය තහවුරු කිරීමට බල්ලාගේ මුල් අයිතිකාරිය බව කියන කාන්තාවට කිසිදු නීතිමය සාක්ෂියක් නොමැති අතරම ඇය බල්ලාගේ නම් පවා නොදන්නා බවය. ඇය අඩගැසූ විට බල්ලා නොබලන බවද වාර්තා කෙරිණි.

දැනට බල්ලාගේ ලේඛන සතුව ඇත්තේ බල්ලා මිල දී ගෙන ඇති කරන ලද පුද්ගලයා සන්තකයේ බැවින් අයිතිවාසිකම් කියූ කාන්තාවගේ ඉල්ලීම ප්‍රතිෂ්ප කරමින් රුපියල් තිස් දහසක බැඳුම්කරයක් මත බල්ලා ඇති කරන පුද්ගලයාටම මුදා හැරීමට නියෝග කරන ලදි.