https://www.gossiplankanews.com/2018/06/house-maid-funeral.html
දා දවස පුරාවටම වැහි බීරම දසත පැතිරී යද්දී කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මළහිරු බැස යන යාමයේ ජා - ඇළ සිට කපුවත්ත මිහිදන් පිටියට කාගෙත් දෙනෙතට නුහුරු නුපුරුදු ශෝචනීය දුලභ ගනයේ දසුනක් දකින්නට ලැබුණේය. කාන්තාවන් දෙදෙනකු පෙරටුකරන්ගෙන උස මහතට හැදුණු වැඩුණු අරාබි ජාතිකයන් 6 දෙනෙකු මිනියක් කර තබාගෙන යන අයුරු
මළගෙදර සැමට මවිතයට හේතුවක් විය. දුක සිතින් ඔතාගෙන මිනිය මහිදන් කෙරෙද්දී මේ විදේශිකයන් ශාන්ති අම්මා ශාන්ති අම්මා කියමින් හඩා වැලපුනේ කාගෙත් දෙනෙත්වලට කඳුළු පුරවමිනි.

තම කුසෙන් වැදු අමමා නොවුනාට මේ අරාබි ගෙදර දරුවන් 8 දෙනකුගේ කැත කුණු අතගාමින් සෙනහස පාමින් ආදරයෙන් රැකබලාගන උස්මහත් කළ මේ ගෙදර ගෘහ සේවිකාවක ලෙස වසර 38ක් දිගටම සේවය කළ ජාඇල ශාන්ති පෙරේරා ඉකුත් 12 වැනිදා දිවියෙන් සමුගෙන යන ශෝකාන්ත ආරංචිය දැනුණු විගස අරාබියේ කෝටිපති ව්‍යාපාරිකයින් වන මේ විදේශිකයන් ලක් දෙරණට පැමිණ මළගෙදර සියලු කටයුතු නිමකර ඇති බැව් අපට අනාවරණය කළේ අරාබියේ ශාන්ති අම්මාගේ සොහොයුරකු වන ජගත් ලක්ෂ්මන් නම් තැනැත්තෙකි. මේ ඔහුගේ කතාවයි


1981 වර්ෂයේ තරම ශාන්ති පෙරේරා මැදපෙරදිග ඩුබායි රටට ගියේ ගෘහ සේවිකාවක ලෙස අරාබි දරුවන් 4 දෙනෙකු රැකබලා ගැනීමටය. කාලයාගේ ඇවෑමෙන් මේ ගෙදර දරු දැරියන් 8 දෙනොම වැදු මව විලස බලා කියා ගත් ගෙයි හිමියන් ඇයට මහත් ආදරයක් දැක්වූහ. පුරා වසර  38ක් තිස්සේ දරුවන් උස්මහත් වන තුරු ඇය ශාන්ති අම්මා ලෙස ඔවුන්ට ගෙදරට දෙවෙනි අම්මා වැනි විය. එසේම මේ ගෙදර සියලු දෙනාගේම ආදර ගෞරවයට පාත්‍ර වුනු ඔවුන් සැලකුවේ වැදූ අම්මා ලෙසිනි.  ඇය ශ්‍රී ලංකාවට එන අතරතුර මේ අරාබි ගෙදර පිරිසද ශ්‍රී ලංකාවට පැමිණ නුවරඑළිය වැනි ප්‍රදේශ වල කලක් ගත කර යන පුරුද්දක්ද තිබුණි, මුදලින් හදලින් නම් ශාන්ති පෙරේරාට අග හිගයක් නොවීය. ඒ නිසා ඇය ශ්‍රී ලංකාවේ තම ඥාති හිතමිතුරන්ටද සැලකුවේය. ශාන්ති අවිවාහකව සිටිමින් තම මුළු ජීවිතයම කැප කළේ මේ ඩුබායි රාජ්‍යයේ සිටින දරුවන් 8 දෙනා රැක ගැනීම සඳහාය.

2009 වසරේ මේ ඩුබායි ගෙදරට අමිමා වුනු ඇය හදිසියේ රෝගාතුර වූවාය. අරාබි නිවැසියන් මුදලින් රු. ලක්ෂ ගණන් වියදම් කළේ ශාත්ති අම්මා සුවකිරීමටය. අසනීප වුනු ශාන්ති අම්මා බලාකියා ගන්න ඔවුන් වෙනමම ගහ සේවිකාවක්ද තබා ගන්න. ශාන්ති අම්මාගේ මනස නිරවුල් කර ගැනීමට ශ්‍රී ලංකාවේ වෙසෙන ශාන්තිගේ සහෝදරයකු වන ජගත්ව පවා ඩුබායිවලට ගෙන්වා ගැනීමට නොමිලයේ වීසා ටිකට් පත් පවා පිළියෙළ කිරීමට ඔවුන් පරිත්‍යාගශීලී විය.

ඇගේ අසනීපය එන්න, එන්න උග්‍රඅතට හැරීම නිසා ඇගේ ඉල්ලීම පරිදි සිංහල බෙහෙත් කිරීමට ඇයව ශ්‍රී ලංකාවට ඇරලවීමද ඔවුන් අතින් සිදු කෙරුණි. ඒ විතරක් නොවේ ඇයට උපස්ථාන කිරීම සඳහා පඩියක් ගෙවා මෙහෙකාරියක්ද ලංකාවේම පිළියෙළ කිරීමට මොවුන් කටයුතු කළහ.ශාන්ගේ අම්මාගේ දුක සැප නිතරම සොයා බැලීමට දුරකථනයෙන් ඇමතීමට පවා ඔවුන් අමතක කළේ නැත.


අතපය වෙව්ලන පාකින්සෙන් රෝගයෙන් පෙළන්නට ගත් ශාන්ති අවසානයේදී යළිත් අරාබි දරුවන් බලාකියා ගන්න නිතරම ඩුබායි බලා පිටත්වීමට උත්සාහ ගත්තත් ඇගේ රෝගී තත්වය තව තවත් උත්සන්න වූ නිසා මහත් කම්පාවකට පත්ව සිටියාය. ශාන්ති අම්මා සුව කරගන්න මේ කළගුණ දත් අරාබි දූ පුතුන් ශාන්ති අම්මාගේ සොහොයුරාට අවශ්‍ය මුදල් පවා කලට වේලාවට ශ්‍රී ලංකාවට
එවන්න පවා ඔහු කාරුණික විය.

හදිසියේම ශාත්ති අම්මා මියගිය පුවත සැලවූ වහාම ඔවුන් ඇඬූ කඳුලින් ඇයගේ දේහයට ගෞරවාචාර දැක්වීමට පැමිණ ඔවුන්ගේ මුස්ලිම් ආගමේ වත් පිලිවෙත් අනුව යාඥා කර තම, තමන් හැදු වැඩූ ශාත්ති අම්මාගේ ආත්මයට ශාක්ති අම්මා අදහන බුද්ධාගම් අනුව නිවන් සුව පැතුහ.

 මෙවන් දෙවිවරුන් බදු හාම්පුතුන් ගැන මනුෂ්‍යත්වයේ නාමයෙන් දකින්න නොව අහන්න ලැබීමත් සොම්නසට කාරණයක් වන අතර තමුන් හැදු වැඩු අම්මාගේ දේහය පස්වලට යටවේදී ඔවුන් දරාගත නොහැකි දොමිනසකින් යුතුව කඳුළු සැලුවේ අම්මා - අම්මා ඇයි අප දමා යන්නේ කියන චිත්ත වේදනාවකිනි.

තොරතුරු-ලෙස්ලි පෙරේරා