හංවැල්ල ප්‍රදේශයේ නිවසක්‌ තුළ කපා කොටා ඝාතනය කරන ලද මවකගේ සහ දියණියකගේ සිරුරු හංවැල්ල පොලිසිය විසින් පසුගිය 19 දා සොයා ගනු ලැබුවා.
 මෙලෙස ඝාතනය වී තිබුණේ 68 හැවිරිදි මවක හා 38 හැවිරිදි එක්දරු දියණියකි. මෙම කාන්තාවන් දෙදෙනාගේ මළසිරුරු නිවසේ සාලය මැද තිබී පොලිසියට හමුවූයේ 38 හැවිරිදි කාන්තාවගේ දෙමසක්‌ පමණ වියේ පසුවන සිඟිත්තා
මව් කිරි නොමැති හේතුවෙන් නිවස තුළ හඬමින් හාමතේ සිටියදීය. රාත්‍රියේ මෙම ද්විත්ව ඝාතනය සිදුවී ඇති බවට සැකකරන පොලිසිය 38 හැවිරිදි කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැක කරයි.
  වග මාඹුල, වැලිපිල්ලෑව අංක 196 නිවසේ පදිංචිව සිටි රූපසිංහ ආරච්චිගේ මේරි රාණි (68) මව සහ සෙනරත් ලියනගේ ලක්‌මිණි ශ්‍රියාකාන්ති නමැති 38 හැවිරිදි වියේ පසුවූ ඇයගේ දියණිය මෙලෙස මරාදමා තිබුණි.

"බන්දු මාමා මට කෝල් කරලා  කිවිවා මේරි ආච්චිලාගේ ගෙවල් පැත්තේ පොඩි ළමයා එක දිගටම අඩනවා, ගෙදර දොරවලුන් වහලා

පොඩ්ඩක් බලන්න කියලා. පස්සේ මම මේරි ආච්චිට කෝල් ගත්තත් උත්තරයක් නැති නිසා යාළුවෝ දෙනෙක් එක්ක ගිහින් ගෙදරට කතා  කලා. ඒත් කවුරුවත් එළියට නාපු නිසා ජනේලයේ ග්‍රිල් එකෙන් එබිලා බැලුවා. එතකොට ආච්චියි අක්කයි ලේ විලක් මැද වැටිලා ඉන්නවා දැක්කා. පොඩි ළමයා දිගටම අඩනවා.

බලා ඉන්න බැරි තැන පොලිසියට කතා කරලා ගෙදර පිටිපස්සේ දොර කඩලා දරුවාව අරගෙන කොස්ගම ශාලාව රෝහලට ඇතුළත් කළා"  යැයි  ද්විත්ව ඝාතනයන් පසු මව් තුරුලට වී හඩමින් සිටි මාස දෙකක දරුවාව බේරාගත් එම ප්‍රදේශයේම පදිංචි ටී.කැළුම් යන අය පැවැති සාක්ෂි විමසීමේදී පවසා සිටියේය.

මියගිය මව හා දියණිය දෙදෙනාම මෙයට වසර කිහිපයකට පෙර විදේශ ගතව ගෘහ සේවයේ යෙදී සිට ඇතැයිද පොලිසිය පවසයි.  මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මිරිහාන අපරාධ ස්ථාන

පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරික්ෂණ කටයුතු සිදු කළ අතර අවිස්සාවේල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ටිකිරි බණ්ඩාර මහතා විසින් අධිකරණ වෛද්‍ය පරික්ෂණ කටයුතු සිදු කළේය.

 එම ස්ථානයට පැමිණි අවිස්සාවේල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සරත් ජයවර්ධන මහතා විසින් මූලික ස්ථානීය පරීක්ෂණ සිදු කිරිමෙන් අනතුරුව දේහයන් අවිස්සාවේල්ල මුලික රෝහලේ මෘත ශරීරාගාරයට යවන ලෙස නියෝග කළේය. අදාළ ඝාතනය සම්බන්ධයෙන් දැනට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින ඝාතනයට ලක් වූ 38 හැවිරිදි කාන්තාවගේ සැමියා වන 26 හැවිරිදි පුද්ගලයෙකු පිළිබඳව අවධානය යොමු වී ඇති බවත් එම සැකකරු මානසික රෝගී තත්වයකින්ද පෙළුණු අයකු බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු මත අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන්ගේන් ලද තොරතුරු අනුව ඝාතනයට ලක් වූ කාන්තාව විවාහ වී ඇත්තේ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණයා නොව ඔහුගේ සහෝදරයෙකු බවත් එම විවාහය කරගත් දා සිට  පැවති සම්බන්ධය ගැන අමනාපකම් ඇතිව තිබූ බවත් පැවසිණි.අලුත උපන් දරුවා තමාගේ නොව සහෝදරයාගේ බවද කියමින් ඔහු රණ්ඩුවී තිබේ. සැකකරු සොයාගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය
 මාස දෙකක් වයසැනි දරුවා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යක් මත පානදුර ළමා නිවාසයට භාර දී ඇත.