උපකාරක පන්ති සඳහා පැමිණ ගම්පහ නගරයේ තැනින් තැන අශෝභන අන්දමින් හැසිරුණු සහ කල්ලිගැසී විෂමාචාර ක්‍රියාවන්හි යෙදී සිටි බව කියන බාල වියේ තරුණ තරුණීයන් 27 දෙනකු පොලිස් භාරයට ගෙන දැඩි සේ අවවාද කොට මවුපියන් වෙත භාරදීමට පියවර ගෙන ඇත.

මේ අතර ලැගුම් හලක සිටි දෙදෙනකු පොලිස් භාරයට ගෙන ඇත.  ඉකුත් සෙනසුරාදා (2) ගම්පහ නගරය ආශ්‍රිතව සහ යක්කල පාර - ඔරුතොට පාර, උඩුගම්පොළ යන ප්‍රදේශවල ලැගුම්හුල් 47ක් සහ නව මිනුවන්ගොඩ මාර්ගය, ගම්පහ දුම්රියපොළ මෙන්ම බස් නැවතුම්පොළවල් පරික්ෂාවට ලක් කිරීමේදී මෙම පිරිස පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසයි. මොවුන් සියලු දෙනා අවුරුදු 17, 18, 19 වැනි වයස්වල පසුවන උසස් පෙළ විභාගය සඳහා උපකාර පත්ති සඳහා නිවෙස්ලින් පැමිණ සිටි අයයි.

ළාබාල තරුණ පිරිස් ගම්පහ නරගයෙහි තැනින් තැන

පහත් අන්දමින් හැසිරීම් සහ ගැවසීම සිදුවන බවට ලැබී ඇති තොරතුරු මත ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා විසින් ලබාදී ඇති උපදෙස් අනුව ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලීස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ කොට්ඨාස ළමා හා කන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයෙහි ස්ථාධිපතිනි පොලිස් පරීක්ෂිකා සමන්ති රේණුකා මහත්මිය  ප්‍රධාන පොලිස් ස්ථානය කිහිපයක ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනියන් ඇතුළු පොලීස් කණ්ඩායමක් කළ සෝදිසියකදී මෙම පිරිස පොලිස් භාරයට ගෙන තිබේ.

 මෙලෙස පොලිස් භාරයට පත්වූවන්ගෙන් ප්‍රශ්න කිරිමේදී ඇතැමුන් පවසා ඇත්තේ පෙරවරු 10ට පන්තියක් නිමාවීමෙන් පසුව අනෙක් පන්තිය පස්වරුවේ ඇරඹෙන තෙක් කාලය ගෙවීමට තැනක් නොමැති බැවින් මෙලෙස නගරයේ තැනින් තැන ගත  කරන බවය.මෙය සැලකිල්ලට ගත යුතුව ඇති කරුණක් බව පොලීස් නිලධාරිනියක පැවැසූ අතර උපකාරක පන්ති පවත්වා ගෙන යන්නන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ළමයින් රැඳී සිටිම පිණිස ආරක්ෂාව සහ රැකවරණය සහිත කොටසක් ඇති කිරීම උචිත වනු  ඇති බව පෙන්වා දුන්නාය.

පොලිස් භාරයට ගන්නා ලද පිරිස  අතරින් ඇතැමුන් ජෝඩු ලෙස මඟ දෙපස පහත් අන්දමින් හැසිරීම, දුම් පානය කිරීම සහ පොදු ස්ථානයන්හි ජනතාවට පීඩාවන අයුරින් ගැවසෙමින් සිට ඇත.