හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් පසු  පිටව ගොස් තිබෙයි.
අද (25) පෙරවරු 09.00ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත  කැදවා තිබුණේ  ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව
විභාග කිරීමටය.
එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය,  ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය 02කට අාසන්න කාලයක් ප්‍රකාශ ලබාදී ඇති අතර අත්අඩංගුවට ගැනීමක් සිදුව නැත.
තම දෙමාපියන් වෙනුවෙන් වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ඉදිකළ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ගොඩනැගීමේදී රුපියල් ලක්ෂ 900කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට  චෝදනා එල්ලවී තිබේ.
පොදු දේපළ පනත යටතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පසුගිය නොවැම්බර් මාසයේ

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සුදනම්වූ අවස්ථාවේ තමන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැකි විය.
එදින පොලීසිය කළ ඉල්ලීමක් සළකා බලමින් ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ජුනි 25 වෙනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවට අධිකරණය ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබිණි.
ඔහු අද පැමිණියේ ඒ අනුවය.
 2014 වසරේ නොවැම්බර් 6 වෙනිදා  විවෘත කෙරුණු කෞතුකාගාරයට ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 900 ක්  වැයකිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුවේ.

කෞතුකාගාරය ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබුවේ ඩී. ඒ. රාජපක්ෂ පදනම හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ මණ්ඩලය සමග ඇති කරගත් නීත්‍යානුකූල එකඟතාවය මත බවත් මෙය සිවිල් ගණුදෙනුවක් බවත් පවසමින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කරුණු දක්වා තිබුණි.
මෙම චෝදනාවට අමතරව මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මකවන පරීක්ෂණවලින්ද ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග ලබාදී තිබේ.
මෙම නඩුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙකු ඉවත්වීම සම්බන්ධයෙන්ද කතාබහක් ඇතිවිය.