ඊයේ පැල්මඩුල්ල කිරිවැල්දෙනිය ප්‍රදේශයේ දී සිදුවූ අවාසනාවන්ත අනතුරක් නිසා බස් රථයක ගමන් කරමින් සිටි සරසවි සිසුවෙකුගේ අතක් ටිපර් රථයක වැදී වෙන්ව ගොස් තිබුණි. තමා වාඩිවී සිටි ආසනය ආසන්න කවුළුවෙන් අත එළියට දමාගෙන ගිය බව කියන මෙම සබරගමු සරසවි සිසුවාගේ
 අත ඒ ආසන්නයෙන් සමාන්තරව ගමන් කළ ටිපර් රථයේ වැදී දෙකඩවීමත් සමග ඔහු කෑගැසූ අතර බස් රථය නවත්වා කැඩුණු අතද සොයාගෙන ඔහුව වහා රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබේ. ඔහුව මුලින් රත්නපුර රෝහලට ඇතුළත් කරන ලද අතර මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු කොළඹ ජාතික

රෝහලට කැඩුණු අත් කොටසත් සමග මාරු කර යවන ලදි.
අනතුරට ලක්වූයේ අගලවත්තේ පදිංචි ඉසුරු සඳරුවන් නමැති 23 හැවිරිදි සබරගමු විශ්ව විද්‍යාල සිසුවෙකි. ඔහු ගමන් කළ බස් රථය කොළඹ සිට බදුල්ල හරහා බිබිල වෙත ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුවිය.
ඔහු බස් රථයේ පිටුපස දකුණු පස වාඩිවී වැල මිට එළියට නිරාවරණය වන ලෙස ගමන් ගනිද්දී මෙම අනතුර සිදුව ඇති අතර ටිපර් රථය බස් රථයේ ආසන්නයෙන්ම ගමන් කර ඔහුගේ අත වැදීමත් සමග බස් රථයේද ගැටී ඇත.
රියදුරන් දෙදෙනාම පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
සිසුවාගේ කැඩුණු අත නැවත සවිකිරීමේ සැත්කමක් කොළඹ ජාතික රෝහලේදී සිදු කරන්නට නියමිතව තිබුණි.