සර 68 ක් තිස්සේ නිවසක බැලමෙහෙවරකම් කළ කාන්තාවක වලව්වක අගුපිලකදමා තිබියදී හමුවූ අනුවේදනීය කතාව වාර්තාවූයේ පසුගිය සතියේය.
මාවනැල්ල රජයේ රෝහලේ වාට්ටු අංකය අටේ කොනකට වන්නට පිහිටි ඇඳක මලානිකව වැතිර සිටි මේ වියපත් කාන්තාව සම්බන්ධ කතාව කෙනෙකුට කම්පනයක් ඇති කරන්නකි.
 ඇය අවුරුදු හතේ පටන් වියපත් වනතුරුම මොල්ලිගොඩම පිහිටි වළව්වක බැල මෙහෙවර කළ තැනැත්තියකි. දැන් ඇයගේ වයස අවුරුදු හැත්තෑ පහකි.
එදා මෙදා තුර මේ අසරණිය ඉටු කොට තිබුණු එකම කටයුත්ත වන්නේ අනුන්ට බැල මෙහෙවර කිරීම පමණය. මුලින්ම මේ වළව්වේ හිමිකරු බව කියන ඉඩම හිමි වැවිලිකරුට සහ ඔහුගේ බිරියටය. ඉනික්බිතිව ඔවුන්ගේ දරු තිදෙනාටය. ඒ සියල්ලන්ට උයා පිහා දී ඔවුන්ගේ කැත කුණු සෝදා පිරිසුදු කරදීමට අපේ කතා නායිකාවගේ ජීවිතයම ගෙවිණ. එහෙයින් ඇයට අනුන්ගේ ආදරයක් නිවුණු ළමා කාලයක් නොවීය. පට්ටම ඇදුණු සුන්දර පාසල් කාලය ද මේ වළව්වේ පින්වතුන් ඇයගෙන් උදුරාගෙන ඇති බවක් පෙනී යයි.

තරුණ ජීවිතයෙන් පසු මැදිවියේදීත් එකම වළව්වක එකම හාම්පුතෙකුගේ මුළු සනුහරයටම බැල මෙහෙවර කරනු මිසෙක ඇය ඉටු කරගත් තමන්ගේ කියා දෙයක්නම නැත.ඒ තරමටම

මනුස්සයකුට නොව සතකුටවත් හිමි තරමේ අයිතිවාසිකමක් මුතුමැණිකාට නම ලැබී නැත්තේය. එහෙත් ඇයගේ හාම්පුතුන් නම් ඉඩම හිමි වැවිලිකරුවන්ය. මාවනැල්ලේ මොල්ලිගොඩ පදිංචි සත් ගුණවත් ශ්‍රද්ධාවන්තයින්ය. ඔවුන් පදිංචි වළව්ව ඉදිරිපිටම ඇත්තේ දැවැන්ත බුද්ධ ප්‍රතිමාවකි. ඉඳින් මේ සියල්ල සිදුවන්නේ ද ඒ බුදු පිළිම වහන්සේට පිටුපා ඉදිව තිබෙන මන්දිරයේය. ගම්මු හුග දෙනකු වළව්වේ ඇත්තන් ඇයව කෙසේ හැඳින්වූයේ දැයි කියන්නට දන්නේ නැත. සිරකාරියක නැතිනම් වහලියක
ලෙසින් අත් පා වාරු නැතිවන තුරු ඇය වළව්වට කැඹුරු වග නම් ගම්මු නිතිපතා දුටුවෝය. එනමුත් ඇය නමින් මුතු මැණිකා බවත් කුරුණෑගල පැත්තෙන් කුඩා කලම මේ වලව්වේ ඇත්තන් ඇයව කැදවාගෙන විත් තිබෙන බවත් මේ තැනැත්තිය වළව්වේ ඇත්තන්ට දුරින් නෑකම කියන්නියක් වගත් ගම්මුගෙන් අසන්නට ලැබෙන්නේය.

ඒ දරුවකු වාගේ හදා වඩා ගන්නා බවට වන පොරොන්දු ඇතිවය. එහෙත් ඇය විසූ වළව්වේ හිමිකරුවන් ඒ පොරොන්දුව ඉටු කළ වගක් නම් නොපෙනිණි..
ඒ කොහොම නමුත් මුතු මැණිකා රෝහලට ගෙන ආවේ පොලීසියයි. පොලීසිය ඇයව සොයාගෙන තිබුණේ ද ගමෙන්ම ලැබුණු ඔත්තුවකිනි. ඒ මාවනැල්ලේ මොල්ලිගොඩ පිහිටි ඇය විසූ වළව්වේ බලු කූඩුව ලෙස ද පාවිච්චි කළ ඉඩේ මේ මනුස්ස පරාණය ඔත්පලව වැතිර සිටින ආරංචියටය. වළව්වේ දර මඩුව ලෙස යොදාගෙන තිබෙන්නේද ඇය විසූ නවාතැනමය.

කොහොමටත් පොලීසියට හිත රිදවන සිද්ධි හා බැදුණු විමර්ශනවල අඩුවක් නැත. එහෙත් මුතු මැණිකාගේ දුක්බර ජීවිතය දුටු පොලිස් නිලධාරින්ගේ සහ නිලධාරිණියගේ නෙත් කෙවෙනි ද කඳුළින් තෙත් වූ බව පොලීසිය කියන්නේය. පොලීසිය මුතු මැණිකා පිළිබද සැළ වී ඇය විසූ වළව්වට ඇතුළු වූ විට දකින්නේ කැඩුණු බිඳුණු බඩු මුට්ටු ගොන්නකි. ඒවා ගාල් කොට තිබුණේ තෙමුණු දිරු ලැලි මඩුවකය. මේ වළව්ව පිටුපසට වන්නට වූ මඩුවේම පසෙක වළව්වේ බල්ලාගේ බලු කුඩුව තිබේ. ඒ හැරෙන්නට මහ වැසිවලින් බේරෙන්නට සහ රැට නිදනට අහලපහළ වල් බල්ලන්ද දිව එන්නේ වළව්වේ දර මඩුව
ලෙස ද යොදාගත් මෙතැනටමය. දූවිලි ගැසුණු ඒ මඩුව ඊයේ පෙරේදා වනතුරුම මුතු මැණිකාගේ නවාතැන වී ඇත්තේය. ඇය බලු බළලු කැළ සමග මේ ඉඩේම
කොනක වකුටුව නිදා ගත්තාය. ඇඳුම් කැඩුම් දෙකතුනද එල්ලාගෙන එහි විසුවාය. පරණ චීත්තයකින් සහ හැට්ටයකින් විළි වසාගන්නා ඇයට ඇයගේම කියා කියන්නට යමක් වුයේ නම් ඒ ඇය නිදන

පැදුර අසල නිතරම තිබෙන මළ බැඳී ගිය බෙලෙක් පිගාන සහ කෝපයයි. ඒ බඳුන්වලට ද දින ගණනාවකින්ම හරිහමන් කෑමක් බීමක් වැටී නැති බව මාවනැල්ල පොලිසියෙන් ඇසේ. එතරම්ම හාමතින් රෝහලට ගෙනා මුතුමැණිකාගේ ඔත්පළකම පළවා හරින්නට තවමත් ආහාර පානවලට පමණක් නොව බෙහේත්වලටත් නුපුඵවන්ට ඇත්තේය. මුතුමැණිකාව ඒ අපාගත ජීවිතයෙන් මුදවා ගෙනවිත් පොලීසියේම මැදිහත් වීමෙන් රෝහලේද්ගලqඳමතඔසවාතැබූ විට ඇය කී දෙයකින් දොස්තරලා ඇතුළු සියල්ලන්ම පුදුමයට පත්වූහ. ඒ මුතු මැණිකාගේ කෙඳුරුමක් හේතුවෙනි. ඇය පවසා තිබුණේ අවුරුදු හැත්තෑ පහන් වනතෙක්ම මෙහෙවර
කළ වළව්වේදී නම ඇයට ඇඳක නිදා ගැනීමට වරමක් හිමි නොවූ බවය. දැරිවියක, තරුණියක වශයෙන්ද මුතු මැණිකා දශක හතකට වැඩි කාලයක් ඇයගේ දිවිය ගෙවා තිබෙන්නේ වලව්වේ අහුමුලුවලය. ඒ මිසෙක කාන්තාවක වශයෙන් ඇයට ඇයගේම කියා කාමරයටත් මේ සද්දන්ත වළවෙන් ලැබී නැත්තේය. පොලීසිය
සොයාගන්නා විටත් ඇය වැටී වැතිරී සිට ඇත්තේ ඉරි ගිය පැඳුරු කඩමාල්ලකය. හාම්පුතුන්ගේ අකාරුණිකමේ මහත මුතු මැණිකා එවේලේ පොලීසියට ඒත්තු ගන්වා තිබුණේ ඊට දෙසතියකට පමණ පෙරද ඇයට මේ වළව්වේ ලොකු හාමිනේ බව කියන හාම්පුතාගේ බිරිය කොණ්ඩයෙන් ඇද අමානුෂිකව පහර දුන් බවත් කියමිනි.

මේ වළව්වට මෙහෙවරකළ මුතු මැණිකාගේ තත්වයයි. එහෙත් මහලු ඇය දිරා ගිය මඩුවක වැතිරෙද්දී විශ්‍රාමික ගුරුවරියක බව කියන වළව්වේ හාම්පුතාගේ නැන්දම්මා වළව්ව ඇතුළත කාමරයක සැප පහසුකම් විදිමින් සිටී.

මේ දැනට හෙළිව තිබෙන වගතුගය. මුතු මැණිකාගෙන් වැඩිදුර කට උත්තර ගන්නට බලාගෙන පොලිසියත් නිතර ඇයගේ ලෙඩ ඇඳ වටා ගැවසේ. එහෙත් තවම එතරම් සුවයක් ඇයට නොමැති බව
වෛද්‍ය නිර්දේශය වී ඇත්තේය. ඉදින් මුතු මැණිකාගේ දෑතින් දැඩිකළ මේ සැකකාර වළව්වේ මහ ඇත්තන්ගේ දරුවන් ද අද මවුපියවරු වී ඇතැයි ද අසන්නට ලැබේ. ඒ ඇතැමෙක් රටටම දහම් දෙසන
රූපවාහිනි නාලිකාවක ඉහළ තනතුරක් දැරිමත් ගම්මුන්ගේ නිතර කතා බහට ලක්ව ඇත්තෙකි.

ඒ අතින් බැලූ විට මුතු මැණිකා ඇයගේ ජීවිතය කැපකොට ඇතිදැඩි කළ සහ බැල මෙහෙවර කළ සියල්ලන්ම දැන් වියපත් ඇය වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු නොවන්නේදැයි හුග දෙනකු විමසන පැනයකි. එහෙත් යම් හෙයකින් එය ඉටු නොවුණ ද සමාජයෙන් මුතු මැණිකා වෙනුවෙන් ඉටුවිය යුතු සමාජ වගකීම්වලින් මිදෙනු නොහැකිවනු ඇත. එහෙත් සැකකාර පාර්ශ්වය මෙම චෝදනා ප්‍රතික්ෂේප්පු කරන අතර තමන් මුතුමැණිකාට හොඳින් සැලකු බවත් කියති.

තොරතුරු - නුවන් මහේෂ් ජයවික්‍රම -සමන් විජය බණ්ඩාර