වයස අවුරුදු සියය ඉක්මවූ කාන්තාවකට හා අසූතුන් හැවිරිදි ඇගේ පුත්‍රයාට පහරදී තාඩන පීඩලට ලක් කළ කාන්තාවන් දෙදෙනකු දුම්මල පොලිසියේ ළමා හා කන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ මවගේ  ලේලිය හා ඇගේ දියණියක් බව දුම්මල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්. ජයවීර මහතා පැවසීය. තවද මේ දෙදෙනා මේ අසූතුන් හැවිරිදි අයගේ බිරිය හා දියණියකද වෙයි. මේ දෙදෙනාගේ හිංසනයට ලක්ව ඇත්තේ තම්මිට ආරච්චිගේ මේරි නෝනා (101) හා ඇගේ පුත්‍රයා වන ඩබ්ලිව්.ඇම්. පියසෙන (83) නමැත්තායි. පෙරේදා (16දා)  මේ මව හා පුත්‍රයා දුම්මලසූරිය පොලිසියට පැමිණ අදාළ කාන්තාවන් දෙදෙනා තමනට පහරදී නොයකුත් අඩත්තේට්ටම් සිදුකරන බව පැමිණිලි කිරීමෙන් පසු මේ මව ගල්මුරුව රෝහලට ඇතුළත් කිරීමට ගල්මුරුව රෝහලේ බලධාරීන්  පියවර ගන්නා ලදී.  ඉන් අනතුරව මේ මවගේ තත්ත්වය බරපතළ බැවින් හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමට ගල්මුරුව රෝහලේ බලධාරීන් පියවර ගන්නා ලදී.

 මව හා පුත්‍රයා

මීට මාස තුනකට පෙර  මුනුපුරකුගේ නිවෙසේ ඉතා  සතුටින් සිට ඇති අතර පසුව  බලහත්කාරයෙන් මේ දෙදෙනා  එම නිවෙසින් රැගෙන යාමට අදාළ සැකකාර කාත්තාවන් කටයුතු කර ඇත. පසුව මේ දෙදෙනා බැලීමට මුනුපුරා එම නිවෙසට ගිය අවස්ථාවකදී තමනට පුත්‍රයා පහර දුන් බව පවසමින් සැකකාර කාන්තාවක් පොලිසියට පැමිණිල්ලක් කර ඔහු මේ නිවෙසට පැමිණීම  පොලිසිය මඟින් තහනම් කරවාගෙන ඇත. එදින සිට මේ මව හා පුත්‍රයා තනිවී ඇති අතර  නිසි ආහාරයක් නොලැබීම හේතුවෙන් දුර්වල වී ඇත. මේ අතර මේ දෙදෙනා නිවෙසේ පිටතින් ඉදිකළ කුටියක සිර කර මේ කාන්තාවන් දෙදෙනා (ලේලිය හා මිත්තණිය) කුලියාපිටිය දීගල්ල ප්‍රදේශයට ගොස් ඇත.

මේ හේතුවෙන් මේ දෙදෙනා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති අතර දින තුනක් ජලය හා විදුලිය නොමැතිව ගතකර කර ඇත. පසුව මුනුපුරකු පැමිණ නිවසේ වහල් උළු ගලවා මේ දෙදෙනාට ජලය හා විදුලිය ලබාදීමට පියවර ගෙන ඇත. මේ දෙදෙනාට ඇති බිය හේතුවෙන් මේ ග්‍රාමයේ කිසිවකු හෝ ඥාතීන් කිසිවකු
මේ මවට හා පුතුට සහාය වීමට ඉදිරිපත් වී නොමැත.

මේ පිළිබඳ අදහස් දැක්වු ඩබ්ලිව්. එම්. පියසේන මහතා
මේ සියලු දේ කරන්නේ මගේ බිරිය හා දියණියක්. මමයි අම්මයි මගේ ලොකු පුතාලගේ ගෙදර හොදට කලා බීලා හිටියා. එහෙම ඉද්දි තමයි අපිව බලහත්කාරයෙන් මෙහෙට ගෙනාවේ.  මේ ගෙදරත් මටයි අම්මටයි තමයි අයිති. මේ ගේ අයිති කරගන්න තමයි මාවයි අම්මවයි මෙහෙට ගෙනාවේ. ගෙනල්ල අපිට වද දුන්නේ, කම නොදුන්නේ අපිව මරන්න. ඊට පස්සේ මේ සියලු දේ අයිතිකර ගන්න. පොලිසියෙත් කෙනෙක් ඉන්නවා මේ අයට උදවු කරපු. අම්මට අවුරුදු 101යි. ඕනෑ නම් තව අවුරුද්දක් දෙකක් ජීවත් වෙයි. මට අසූ තුනයි. මම අම්මට වඩා දුර්වලයි. මොකද මට දුන්නු වද නිසා.

මම ඉල්ලන්නේ මේ රටේ නීතියක් තියෙනවා නම් අපට මේ ඉන්න ටිකේ සැනසීමෙන් ඉන්න දෙන්න අවස්ථාව උදා කරලා දෙන්න කියලයි. තමනට අයත් සියලු දේ මේ වනවිට්ට ලේලිය හා මිනිපිරිය සොරාගෙන ඇති බව මේරී නෝනා මාතාව හැඬු කඳුළින් පැවැසුවාය මේ සිදුවීම සම්බන්ධයෙන් දුම්මලසුරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබිණි.