සුගියදා ඇදහැලුණු මහ වැස්සෙන් මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ යටවූඉ නිවෙස්වල පදිංචිව සිටි අය බෙරාගනනට යාමේදී පොලිස් නිලධාරියෙකු අවාසනාවන්ත ලෙස සැඩ පහරට හසුවී මියයාමේ සිද්ධියක් වාර්තා විය.
ගල්මුරුව ප්‍රදේශයේ යටවූ නිවාස පිරික්සීමට එහි ආ පොලිස් කණ්ඩායමේ දෙදෙනකු
කොටුවී සිටි පිරිස වෙත ළඟා වන්නට වෙර දැරූ අවස්ථාවේ ජලයට පැන පීනා කොටුවූ පිරිස වෙත ළඟා වන්නට උත්සාහ ගත් එක් පොලිස් කොස්තාපල්වරයකු දියේ ගිලී ගොස් ඇත්තේ ඔහු බේරා ගැනීමට ගිය අයගේ නෙතු මානයේමය.
තම දිවි නොතකා අනුන්ගේ දිවි බේරීමට කටයුතු කළ මේ පොලිස් නිලදරුවාගේ නිසල දේහය ඊයේ (27දා) පෙරවරුවේ නාවික හමුදා භට කණ්ඩායමක් විසින් සොයා ගත්තේ එසේ ඔහු ගිලී අතුරුදන් වූ ස්ථානයට මීටර් 200ක් පමණ දුරකිනි.
මෙලෙස මියගියේ මාදම්පේ පොලිසියට අනුයුක්තව සේවය කළ ගිරිඋල්ල මල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඩිලාන් සම්පත් (88587) නමැති පොලිස් කොස්තාපල්වරයෙකි. ජලයට කොටුව සිටි පවුලක් බේරා ගැනීමට ගොස් දිවි පිදූ මේ පොලිස් නිලධාරිවරයාගේ තනතුර උසස් කිරීමටත් ඊයේ (27දා) පොලිස්පතිවරයා විසින් පියවර ගන්නා ලදී.

පසුගිය විසිපස් වැනි දින පෙරවරු 11.30ට මාදම්පේ ගල්මුරුව ප්‍රජල මට්ටම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබූ අතර මේ ප්‍රදේශයේ නිවාස කිහිපයක දරුවන් ඇතුළු පිරිසක් ගංවතුරට කොටු වී සිටින බවට ලැබුණ ඇමැතුමත් සමඟ ක්‍රියාත්මක වූ පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා පැය භාගයක් ඇතුළත ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගලවා ගැනීමේ භට කණ්ඩායම් මේ ස්ථානයට එවීමට පොරොන්දු විය. මේ වනවිට මාදම්පේ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් මෙම ස්ථානයට පැමිණෙමින් සිටි අතර මාදම්පේ පොලිසියද වහා ක්‍රියාත්මකව මේ ස්ථානයට පැමිණ සිටින ලදී.


මේ ස්ථානයට පැමිණි මාදම්පේ පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර මහතා ගල්මුරුව ගල්වළ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීම ප්‍රථමයෙන් සිදුකළ අතර ඒ අතරවාරයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ගංවතුරට කොටුවී සිටින ජනතාව සිටින ප්‍රදේශයට ගොස් තිබේ.  මේ දෙදෙනා අදාළ ස්ථානයට පියනඟන අයුරු මේ ආසන්නයේ පිහිටි සී.සී.ටී.වී. කැමරා පද්ධතියකද සටහන්ව තිබේ.

මේ සිදුවීම ඇසින් දුටු ගල්මුරුව ගල්වළ ප්‍රදේශයේ පදිංචි පී. ශාන්ති කුමාරි මහත්මිය මෙසේ පැවැසුවාය.
'විනාඩි කිහිපයක් ඇතුළත වතුර එක පාරටම වැඩි වුණා. ගෙදර වැඩිහිටි පිරිමියෙක් හිටියෙත් නැහැ. ගැහැනු ළමයි දෙන්නයි පිරිමි ළමයයි එක්ක මම අසරණ වුණා. මම ෆෝන් එක අරගෙන වත්තේ අයිතිකාර නෝනට කිව්වා වතුර වැඩි වෙනවා අපිට යන්න විදියක් නැහැ කියලා. නෝනා තමයි වටේටම කෝල් කරලා මේ ගැන දැනුම් දීලා තියෙන්නේ. මේ පොලිසියේ මහත්වරු දෙන්නා එනවා අපි දැක්කා. එක්කෙනෙක් ඉද්දී අනික් කෙනා හොඳට පීනලා ආවා. එක පාරටම නැතුව ගිහින් නැවත මතු වෙලා නැවත නැතුව ගියා. අපිට කර කියා ගන්න දෙයක් තිබුණේ නැහැ. මම ළමයි තුන්දෙනත් එක්ක අන්ත අසරණ වෙලා හිටියේ. මේ පොලිසියේ මහත්තයා අපිව බේරගන්න ආපු නිසා තමයි මේ දේ වුණේ. “
2009 වර්ෂයේ ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්ව ඇති පොලිස් සැරයන් ඩිලාන් සම්පත් මාතර, දෙණියාය, වෙන්නප්පුව, හලාවත හා අවසන් වරට මාදම්පේ පොලිසියට අනුයුක්තව පොලිස් බුද්ධි අංශ නිලධාරියකු ලෙස සේවය කර ඇත.

ඩිලාන් සම්පත් පොලිස් විරුවා කුඩා කල සිට ක්‍රීඩාවට දක්‍ෂයකු වූ අතර තම ගම්පියස වන ගිරිඋල්ලෙන් ගලා බසින මාඔයේ ජල ක්‍රීඩාවේ මෙන්ම පිහිනීමෙන්ද ලැබූ පන්නරය පොලිස් සේවයට එක්වීමටද හේතුවක් වී තිබේ. මීට අමතරව පොලිස් ක්‍රිකට් කණ්ඩායමේත් සාමාජිකයකු ලෙස ක්‍රියා කර ඇති ඩිලාන් සම්පත් මහජන සම්බන්ධතා ගොඩනඟා ගැනීමේ උපන් හපන්කම් පෑ අයකු ලෙසට ප්‍රකටය. ඒ හේතුවෙන්ම පොලිස් බුද්ධි අංශයට මොහු එක් කර ගැනීමට උසස් පොලිස් නිලධාරීන්ගෙන් උපදෙස් ලැබිණි. පොලිසියේ සේවය කළත් කුඩා දරුවකු මෙන් අහිංසක හදවතකට හිමිකම් කිවූ ඩිලාන් ඕනෑම අයකුගේ විපතකදී හිත උණු වන පුද්ගලයකු ලෙසද සැලකේ. ඩිලාන්ට සිය ජීවිතය අහිමි වන්නේද මේ හේතුවෙනි.

හලාවත - ප්‍රසාද් පූර්ණමාල්