මෙවර අයි.පී.එල් තරගාවලියේ නොකඩවා තුන්වැනි ජයග්‍රහණයත් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා පැමිණ ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන ලොව හොඳම පුහුණුකරුවා බව
මුම්බායි කණ්ඩායමේ හිමිකාරිනිය

මෙන්ම ලොව 18 වැනි ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බිරිය වන නීටා අම්බානි ප්‍රකාශ කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

අයි.පී.එල් තරගාවලියේ 41 වැනි තරගය ලෙස කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමඟ කල්කටාහි ඊඩ්න්ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 102ක දැවැන්ත ජයග්‍රහණයක් මුම්බායි කණ්ඩායම විසින් වාර්තා කිරීමෙන් අනතුරුව පිටිය තුළට පැමිණි නීටා අම්බානි රෝහිත් ෂර්මා ඇතුළු මුම්බායි ක්‍රීඩකයන්ට සුබ පතමින් සුහද පිළිසඳරක යෙදී ඇත. එහිදී මුම්බායි නායක රෝහිත් ෂර්මා ලොව හොඳම සහ නිරහංකාරම නායකයා බවත් එම කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන ලොව හොඳම පුහුණුකරුවා බවත් නීටා අම්බානි ප්‍රකාශ කර තිබේ.

මේ අතර මෙවර අයි.පී.එල්. තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන එකම ක්‍රීඩකයා වන අකිල ධනංජය ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද මුම්බායි කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණු උපදේශකයකු ලෙස කටයුතු කරයි.