ළදරු අවධියේදී දරුකමට හදාවඩා ගැනීමට ධනවත් අඹුසැමි යුවළකට දුන් දරුවා නැවත ඉල්ලා එම දරුවාගේ සැබෑ මව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කරන ලද පැමිණිල්ලක් මත එම අධිකාරිය පරික්ෂණයක් පවත්වාගෙන යයි.

දරුවන් නොමැති ධනවන් අඹුසැමි යුවළක් මීට වසර 4කට පමණ ඉහතදී
කොළඹින් බැහැර ප්‍රදේශයකින් කුඩා ළදරුවකු දරුකමට හදා වඩා ගැනීමට කාන්තාවකගෙන් ලබාගෙන ඇතැයි ජාතික ළමා ආරක්ෂික අධිකාරියේ නිලධාරියෙක් ඊයේ (27) පැවැසීය.
තම දරුවා හදා වඩා ගැනීමට

නොහැකි තත්ත්වයෙන් පසුවූ මව ද ධනවත් යුවළකට දරුකමට හදා වඩා ගැනීමට දරුවා ලබාදී ඇති බව ජාතික ළමා ආරක්ෂික අධිකාරීයේ ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
එහෙත් මේ කටයුත්ත නීත්‍යානුකූලව සිදුවී නොමැති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීයේ එම නිලධාරියා කීය. දරුවා ලබාගත් ධනවත් අඹුසැමි යුවළ සියලු සැප සම්පත් ලබාදෙමින් දරුවා හදාවඩා ගන්නා බවට තොරතුරු ලැබී ඇත.  එහෙත් දරුවා මෙලොවට බිහිකළ සැබෑ මට හදාවඩා ගැනීමට ලබාදුන් දරුවා නිතර සිහිවෙන බව කියමින් ධනවත් අඹුසැමි යුවළ යෙයාගොස් නැත දරුවා ඉල්ලා ඇතැයි පැවැසේ. සියලු සැප පහසුකම් ලබාදෙමින් රැක බලාගන්නා දරුවා නැවත සැබෑ මවට ලබාදුනොත් දුක්විඳීමට සිදුවන බව පවසා ධනවත් අඹුසැමි යුවළ දරුවා නැවත ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව ද කියති.
දරුවාගේ සැබෑ මව දරුවා තමාට ලබාදෙන ලෙස ඉල්ලමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරීයට පැමිණිලිකර ඇත්තේ ඉන් පසුයි.
ජාතික ළමාරක්ෂික අධිකාරියේ සභාපති නීතිඥ අභයරත්න මහතාගේ උපදෙස් මත එම අධිකාරීයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතාගේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.