ට්ටක්කුලිය ප්‍රදේශයේ පාතාල සාමාජිකයකුගේ විවාහ මංගල උත්සවයක් ඊයේ 25 වැනිදා වත්තල පොලිසියේ පූර්ණ ආරක්ෂාව යටතේ වත්තල ප්‍රදේශයේ උත්සව ශාලාවක පවත්වා තිබේ. මංගල යුවළ රැගත් මංගල රථය කොළඹ සිට පොලිස් ජීප් රථ හා පොලිස් යතුරුපැදි කිහිපයක ආරක්ෂාව යටතේ වත්තල පොලිස්
බල ප්‍රදේශයේ කදිරාන පාලම වෙන කැඳවාගෙන පැමිණ ඇති අතර පසුව එම ස්ථානයේ සිට වත්තල පොලිසියේ ජීප් රථයක් හා යතුරුපැදියක ආරක්ෂව යටතේ මනාල යුවළ වත්තල ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක් වෙත කැඳවාගෙන ගොස් තිබූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම මංගල උත්සවයට අමුත්තන් 300කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන් සියලු දෙනා උත්සව ශාලාව වෙත ඇතුළත් කරනු ලැබුව්වේ පොලිසියේ දැඩි පරික්ෂාව යටතේ බවද උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය.
මංගල උත්සවයේ ආරම්භයේ සිට අවසානය දක්වා පොලිස් නිලධාරීන් 20කට

අධික පිරිසක් යොදවා මංගල උත්සව ශාලාව අවට යොදවා ආරක්ෂාව තරකර තිබී ඇත.
මෙම සියලු ආරක්ෂක කටයුතු වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම ස්ථානයේ රැඳී සිටිමින් මෙහෙයවා තිබෙන බව ද පැවැසේ.
මංගල උත්සවය අවසානයේ යුවළ මධුසමය සදහා පිටව ගොස් ඇත්තේද පොලිස් ආරාක්ෂාව මැද බව ද පැවැසේ. මෙම මංගල උත්සවයට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත්තේ පොලිස්පතිවරයාගේ සහ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිඛික නියෝගවලට අනුව බව ද පොලිසිය කියයි. මෙම පාතාල සාමාජිකයාගේ විවාහ මංගල දිනයේදී ඕහු ඝාතනය කරන බවට මොදර ප්‍රදේශයේ ප්‍රතිවාදී පාතාල නායකයකු ඔහුට තර්ජනය කර තිබිණැයි පැවැසේ. ඒ අනුව ඔහු සිද්ධිය පොලිස්පතිවරයා වෙන පැමිණිලි කර සිය විවාහ මංගල උත්සවයට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසට කර තිබූ ඉල්ලීමකට අනුව ඔහුට විවාහ මංගල දිනයේ මෙලෙස පොලිස් ආරක්ෂාව ලබා දුන් බව ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.