තමාට වැළඳුන පිළිකා රෝගයද
අනුන්ට දැනුවත් කරමින් සිටියදී

(ඇමති එස්බීගේ මස්සිනා)
විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ සමුගනී

වෛද්‍ය විද්‍යාත්මක දැනුම සන්නිවේදනයට ලිපි පත පොත රාශියක් ලියූ ශ්‍රී ලංකාවේ මුල් පෙළේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අභාවප්‍රාප්ත වූයේය. පාඨකයින්ට වෛද්‍ය විද්‍යා දැනුම ලබාදීමට ‘රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්‘ ග්‍රන්ථය ඇතුළු කෘති ගණනාවක් ඔහු රචනා කළ අතර අවසන් කාලයේ ඔහුට පිළිකා රෝගය වැළඳුන පසුව ‘වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්‘ යනුවෙන්  ලිපි මාලාවක් ලියා එම රෝගයේ සියලු අංග හා ප්‍රතිකාර ගැන ජනතාව දැනුවත් කරන්නට ඔහු අඛණ්ඩව උත්සාහ කළේය. එම ලිපි මාලාවේ  95 වන ලිපිය ෆේස් බුක් වෙත ඔහු අවසන්වරට යොමු කර තිබුනේ
පසුගිය පෙබරවාරි 10 වනදාය.
ඇමති එස්බී දිසානායකගේ සහෝදරියකගේ සැමියා වූ ආරියසේන යූ ගමගේ මහතා මියයන විට 66 වන වියෙහි පසුවිය.
මියයන්නට පෙර ඔහු කලක් තිස්සේ මාළබේ නෙවිල්  ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.
පසුගිය දිනවල සිංහල-මුස්ලිම් ආරවුලක් මැද වඳ පෙත්තක් සම්බන්ධව සැකයක් මතුවූ අවස්ථාවේ ඔහු ඒ ගැන වසර කිහිපයකට පෙර කළ පැහැදිලි කිරීමක්ද බොහෝ මාධ්‍ය තුළ පළ විය. මහාචාර්ය ‍නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය කොල්වින් ගුණරත්න

යන ගුරුවරුන්ගේ ආභාෂය සහිතව ප්‍රජා වෛද්‍ය විද්‍යාවට සිත් යොමුවූ බවත් ඒ නිසාම වෛද්‍ය විද්‍යා සන්නිවේදනය ප්‍රිය කළ බවත් ඔහු පුවත්පත්වලට පවසා තිබේ.
“මම විවාහ වුණේ මා සමඟ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත්ත මානෙල් දිසානායක සමඟ‍. ඇයත් වෛද්‍යවරියක්. ඇය එස්.බී. ඇමැතිතුමාගේ නැගණිය. මගේ දියණියන් දෙදෙනාත් වෛද්‍යවරියන්. ඔවුන් විවාහ වෙලා සිටින්නෙත් වෛද්‍යවරු සමඟයි.“ ඔහු 2017 පළවූ පුවත්පත් ලිපියකට පවසා තිබුණි. එහි මෙසේද දැක්වේ.
‘මම හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටි කෙනෙක්. ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙක් වගේ ම ජනතාවට අමතන කෙනෙක් හැටියට ජනතාවට ආදර්ශයක් වෙන විදියට උසට ගැළපෙන ශරීර බර තබාගෙන, දිනපතාම ව්‍යායාම කරමින් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළා. මගේ දැන් වයස අවුරුදු 65 යි. මගේ අම්මත් තාත්තත් හොඳ ආයුෂ වින්ද අය. අම්ම තවමත් ඉන්නවා.‍ මගේ තක්සේරුව වුණේ අවුරුදු 85 ක්වත් මම ජීවත් වෙයි කියලයි. කවදාවත් අදහසක් තිබුණේ නෑ පිළිකා රෝගයක් මට ඇතිවෙයි කියලා. මීට මාස 5 කට පමණ කලින් දවසක් මට දැනුණා මගේ කිහිල්ලේ වේදනාවක් නැති පුංචි ගෙඩියක් තියෙන බව.

ඒ වෙලාවේ මම හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටියා. ඒ වුණත් ESR, CRP, WBC, RBC වැනි වෛද්‍ය පරීක්ෂණ ටික කරගත්තා. ඒ පරීක්ෂණවල ප්‍රතිඵල වලින් විශේෂ යමක් දැන ගන්න ලැබුණේ නෑ. ඉන්පසුව මා දැනටමත් වැඩ කරන පේරාදෙණිය වෛද්‍යපීඨයෙන් මේ ගෙඩිය ඉවත් කරගන්න ඕන කියලා ශල්‍ය කර්මයකට මුහුණ දුන්නා. එම ගෙඩිය පරීක්ෂාවේ ප්‍රතිඵල මට දින 5 කින් දැනගන්න ලැබුණා. ඒ ප්‍රතිඵලය වුණේ මම බලාපොරොත්තු නොවූ දෙයක්. මගේ කිහිල්ලේ තිබුණු ගෙඩිය ශීඝ්‍රයෙන් පැතිරෙන non – Hodgkin’s lymphoma (නොන් හොජ්කින් ලිම්ෆෝමා) නම් පිළිකාවක් බව මට දැනගන්න ලැබුණා.

මෙය ඉතාම වේගයෙන් වර්ධනය වුණා. මේ අවුරුදු 65 ක කාලය තුළ අවුරුදු 100 ක වැඩ මම කරලා තියෙනවා. මගේ පවුලේ උදවියටත් රටටත් මම හොඳින් යුතුකම් කළ කෙනෙක්. ලෝකය පුරා ඉන්න බොහෝ දෙනකුගේ ආශිර්වාදය මට තියෙනවා. “
අභාවප්‍රාප්ත වෛද්‍ය ගමගේ මහතාගේ දේහය මාවනැල්ල බෙලිගම්මාන පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (1) සවස 6 ට මාවනැල්ල ආදාහනාගාරයේ දී සිදු කෙරේ.

ඔහු ෆේස්බුක්හි පළකළ ඡායාරූප