පසුපස ඇවිත් දන්නෙම නැතිව
සීයාගේ ත්‍රිරෝද රථයට නැග්ග සිඟිත්තිය
විසිවී යටවී මරුට


තම සීයාගේ ත්‍රිරෝද රථයට යට වී මියගිය අවුරුදු 2 1/2ක් වයසැති මිණිපිරියක ගැන අවාසනාවන්ත පුවතක් පොළොන්නරුව අරලගංවිලින් වාර්තා වේ.
පෙරේදා (14) රාත්‍රී 8.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත. 
මෙම දැරිය මව පියා සමග නිවසේ සිටියදී පුරුදු පරිදි සීයාද නිවසේ ටිකවේලාවක් ගතකර රාත්‍රී 8.30 ට පමණ ඔහුගේ නිවසට යාමට පිටත්ව ඇත.
මෙම අවස්ථාවේ ගෙදර සිටි අය හෝ සීයාගේ අවබෝධයකින් තොරව වයස දෙකහමාරේ සිඟිත්තිය සීයා පසුපස ගොස්
කළුවරේම ත්‍රීරෝද රථයට

නැග ඇත්තේ ඔහු සමග යාමටය.

මේ බවක් නොදත් 63 වියැති සීයා ත්‍රී රෝද රථය පණගන්වා ටික දුරක් යනවිට එක්වරම යමක් විසිවී රථයට හසුවනු දැනී ඇති අතර ඒ වෙන කිසිවෙකු නොව තම මිණිපිරිය බවත් ඇය යටවී ඇති බවත් ඔහුට පසක් වී තිබේ.

බරපතල තුවාල ලද සිඟිත්තිය රෝහල් ගත කරන විටත් මියගොස් සිටියාය.
අනතුරෙන් මියගොස් ඇත්තේ මනම්පිටිය දළුකාන අංක 242 ලිපිනයේ පදිංචිව සිටි ඩබ්.ජී. ඔලිනා ප්‍රභානි විජේබණ්ඩාර නමැති වස දෙකයි මාස හයක සිඟිත්තියකි.
සිද්ධියට සම්බන්ධ සැකකාර 63 වියැති සීයා අත්අඩංගුවට ගෙන පොළොන්නරුව දිසා අධිකරණයට ඊයේ (15) ඉදිරීපත් කිරීමට නියමිතව තිබුණි.අනතුරට හේතුව නොසැලකිලිමත්ව රිය පැදවීම බව පොලිසිය පවසයි.