ඕස්ට්‍රෙලියාවෙන් ඉගෙන ගත් දෙය ලංකාවේදී ප්‍රයෝජනයට ගත් චානකගෙන්
ලංකාවේ මුල්ම 3D ඇනිමේෂන් චිත්‍රපටය
‘ගජමෑන්‘ ළඟදීම

ඇවෙටර් , ටින් ටින් වැනි ලෝකප්‍රකට දැවැන්ත සිනමා කෘති නිර්මාණය කෙරුණු මෝෂන් කැප්චර් තාක්ෂණය භාවිතයෙන් ලංකාවේ පළමු ත්‍රිමාන ඇනිමේෂන් චිත්‍රපටය ලෙස ‘ගජමෑන්‘ ළගදීම තිරගත වීමට නියමිතය.
 රුපියල් මිලියන 75ක පමණ වියදමින් මෙම චිත්‍රපටය 2010 වසරේ සිට වසර 7 ක් පමණ තිස්සේ නිර්මාණය කර තිබෙන්නේ වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයේ නියුතු චානක පෙරේරා ප්‍රමුඛ ස්ටුඩියෝ 101 කණ්ඩායමයි.
මෝෂන් කැප්චර් තාක්ෂණයේදී සැබෑ නළු නිළියන් අවශ්‍ය අංග චලන සිදු කළ පසු මෘදුකාංග ආධාරයෙන් සජීවී කරණය කළ චරිත වල
චලනයන් අනුරූපණය වේ.
දසුන් පතිරණ ,චාමර ප්‍රියදර්ශන,කසුනි ,ප්‍රදීප් ,ටිරාක් ශාරදා යන අය

මෙම රංගනය එක්ව තිබෙන අතර චරිත වලට හඬ කැවීමේදී ගාමින්ද ප්‍රිය විරාජ් , සුනෙත් චිත්‍රානන්ද ,යුරේනි නොෂිකා, රසිපබෝධා, සුනිල් පෙරේරා ප්‍රමුඛ පිරිස එක්කරගෙන තිබේ.

මෙවන් අලුත් දෙයක් ලංකාවට හදුන්වාදීම සිදු කරන චානක පෙරේරා තමන්ට මේ අදහස පැමිණි ආකාරය මෙසේ විස්තර කර තිබේ.
‘මෙහෙම දෙයක් ගැන මුල්ම අදහස මට ආවේ මට අවුරුදු  15 දී විතර.මං ශාන්ත පීතර විදුහලෙන් අධ්‍යාපනය ලබා පසුව ඕස්ට්‍රේලියාවේ සරසවියක බහු මාධ්‍ය පිළිබඳ උසස් අධ්‍යාපනයට ගියා.එහෙදි ත්‍රිමාන ඇනිමේෂන් තාක්ෂණය ඉගෙන ගත්තා.

 මගේ හොඳම යහළුවා වූ ඉර්ෂාඩ් නදිනුත් මේවට ආස කළ කෙනෙක්. එයා තමා ගජමෑන් කතාව මේකට ගමු කිව්වේ.
 ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට 2010 දී පැමිණි පසු මං ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා හමු වුණා එතුමාගේ උපදෙස් පරිදි කැමිලස් පෙරේරා මහතාගෙන් මේකට අවසර ගන්න ගියා. ඒ මහත්මයාගෙන් මේ වගේ වැඩක් කරන්න 6 දෙනෙක් මීට කලින් අහල තිබුණ කිව්වා.
ඒත් දැනුම ප්‍රමාණවත් නැති අය නිසා ඒවට සම්බන්ධ වුනේ නැති බව කිව්වා.

මගේ නිර්මාණ වලට පැහැදිලා සම නිෂ්පාදකයකු ලෙස එක්වෙමින් කැමිලස් මහත්මයා මේකට සම්බන්ධ වුණා. තිර පිටපත සුනෙත් ගාමින්ද (පොඩි මල්ලී හා චූටි මල්ලී) ලියා දුන්නා.ලක්මාල් කන්නන්ගර තාක්ෂණික උදව් කළා.
ගජමෑන්, දැක්කොත් පද්මාවතී, මගෝඩිස්තුමා, සුවිටි, ලපයා, ටික්කා, චූටි, පැටෝ, දුන්සේතන්, සිරිබිරිස් ආදී චරිත මෙයට ඇතුළත් වුණා.
 මෙම සිනමාපටය ලංකාවේ සියලුම හෝල් වල එකම ගුණයෙන් පෙන්නන පහසුකම් මදි. මේ නිසා ත්‍රිමාණ හා ද්විමාන ලෙස නැරඹීමට පහසුකම් සතුව නිෂ්පාදනය කරා.‘

තවම මෙම චිත්‍රපටයේ ට්‍රේලරයක් ප්‍රසිද්ධ කර නැත. පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ චිත්‍රපට එළිදැක්ම පිළිබද මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රදර්ශනය කළ වීඩියෝ කොටස්ය.