අලියා ගැහුවෙ නෑ
බෙල්ලන්විල හිමියන්  අපවත්වීම ගැන මාධ්‍ය ප්‍රචාර වැරදියි
- හිමියන්ගේ සොයුරු බෙල්ලන්විල ධම්මරතන හිමි

පෙරේදා උදෑසන විහාරස්ථානයේ ඇති දැඩි කළ මියන්කුමාර නමැති ඇත් පැටවෙකු කළ පහරදීමක් නිසා බෙල්ලන්විල රජමහාවිහාරාධිපති විමලරතන හිමියන්ට බරපතල තුවාල ඇතිවීම සහ අනතුරුව රෝහලේදී සැත්කමකට භාජනය කිරීමෙන් පසු අසාධ්‍යවී එහිමියන් අපවත්වීමට අදාළ මාධ්‍ය වාර්තා දෝෂ සහගත බවත් සිදුවූ දේ විකෘති කර වාර්තා කර ඇති බවත් අපවත්වූ හිමියන්ගේ සොයුරා වන බෙල්ලන්විල ධම්මරතන හිමියෝ ඊයේ
එහිමියන් අපවත්වීමෙන් පසු මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් දන්වා සිටියහ.  උන්වහන්සේ දන්වා සිටින්නේ
සිද්ධිය වූ දවසේ හිමියන් වැටුණ බව සත්‍ය නමුත් ඇතා පහරනොදුන් බවත් ඒ බව රෝහල් ගතව සිටි පැය කිහිපය තුළදී  හිමියන් පවා දැන්වූ බවත්ය.මේ අතර සිද්ධිය අවස්ථාවේ එම ස්ථානයේ

කිසිවෙකු හෝ නොසිටි බවත් ඒ නිසා ඇතා පහරදුන් බවට සාක්ෂි කිසිවක් නැති බවත් අවධාරණය කරමින් දන්වා සිටී.
ජාතික රූපවාහිනිය අමතමින් උන්වහන්සේ මෙසේ විස්තර කළහ.

‘මගේ පැවිදි සහෝදර ඒ වගේම ගිහිකමිනුත් සහෝදර මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන් වහන්සේ අද උදේ අපවත්වී වදාළා. පැය ගණනක් තිස්සේ කරපු ඉතා සියුම් ශල්‍යකර්මයකට පස්සේ තමයි උන්වහන්සේ අපවත් වුනේ. දැනටත් පුවත්පත් මගින් ප්‍රකාශ වෙලා තියනවා විහාරස්ථානයේ අලියෙකු පහරදීමෙන් ඇතිවෙච්ච තුවාල නිසා මේ දේ සිද්ධවුණා කියලා.
නමුත් මේ ප්‍රකාශ වල සත්‍යයක් තියනවා කියලා අපට කියන්න බෑ. ප්‍රධානම හේතුව තමයි විමලරතන හාමුදුරුවො ආරෝග්‍ය ශාලාවට ඇතුළු කළාට පස්සේ පැය ගණනක් තිස්සේ උන් වහන්සේ හම්බවෙන්න ගිය ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඒ වගේම යම් යම් වගකිවයුතු පුද්ගලයින් සමග උන් වහන්සේ කතා කළා.ටිකක් දුර්වල කමක් තිබුණා. ඒත්හැමවතාවකම උන්වහන්සේ පැහැදිලිව කිව්ව දෙයක් තමයි අලියා උන්වහන්සේට පහරදුන්නෙ නැතැයි කියන එක. එහෙම දෙයක් වුනේ නැතෙයි කියන එකම තමයි උන් වහන්සේ සඳහන් කලේ.


හැබැයි කිසිම සාක්ෂියක් නැහැ ඇතා පහරදීමෙන් උන් වහන්සේ වැටුණයි ඒකෙන් තුවාල වුණයි කියන්න සාක්ෂියක් නැහැ.ඒ ශල්‍යකර්මය සමහර විට උන්වහන්සේට දරාගන්න බැරිතරම් බරපතල ශල්‍ය කර්මයක් කියල කියන්න පුළුවන්. ඒ අතරතුර තමා උන් වහන්සේගේ හෘදය වස්තුව සම්පූර්ණයෙන්ම නතර වුනේ. කොහොමහරි උන් වහන්සේ එතැන වැටිල තියනවා. උන් වහන්සේගේ වයස අවුරුදු 75 ක්. උන් වහන්සේ මේ කාලේ ලොකූ ශරීර ශක්තියක් තිබුන කෙනෙක් කියන්න බැහැ.
මේ අභාවය ගැන කරුනු ප්‍රකාශ කරන අයට අපට කියන්න තියෙන්නේ කල්පණාවෙන් ඒ කරුනු ප්‍රකාශ කරන්න. උන් වහන්සේ ප්‍රසිද්ධ රටම දන්න කෙනෙක් නිසා පුවත්පත් හා අනෙකුත් මාධ්‍ය වලට ලොකු මාතෘකාවක් උන් වහන්සේ ගැන ලියන එක. කරුනු නිවැරදිව සඳහන් නොකිරීම අගෞරවයක් මදිකමක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනවා යමක් සඳහන් කරන විට ඒ ගැන කල්පනාවෙන් සඳහන් කරන්න කියලා.‘
සම්බන්ධිත ලිපිය
බෙල්ලන්විල හිමියන්ට වුණ අනතුර ගැන ඇත් ගොව් සහායකගේ ප්‍රකාශය (video)