බට්ටාගේ පැටලී බෑග් එකත් එක්ක තරුණයෙක් වැටුණා
එකපෙළට අනෙක් අයත් වැටුණා

අඟුලාන දුම්රිය පාපුවරුවේ අනතුරින්
මරණ 4 ක්



අධික තදබදය සහිත කාර්යාල දුම්රිය වල දුම්රිය පාපුවරුවේ යාම පුරුද්දක් කරගත් පිරිසක් අවාසනාවන්ත අනතුරකට ලක්වීමේ සිද්ධියක් ඊයේ අඟුලානෙන් වාර්තා වුණා.
මොරටුව - අඟුලාන දුම්රිය ස්ථානය ආසන්නයේ දකුණු කළුතර බලා ගමන් ගත් දුම්රියක පාපුවරුවේ ගමන්ගත් මගීන් පිරිසක් ඊයේ සවස බට්ටා ලොරි රථයක ගැටුණ අතර නවදෙනකු ඇද වැටී
පුද්ගලයන් දෙදෙනකු එතැනම මියගිය අතර තවත් දෙදෙනෙකු රෝහලේදී මියගියා.
අනතුරින් මියගිය අය  අතර කළුතර දකුණ නගර සභා නිවාසහි පදිංචිව සිටි රවින් උදේශ (42) හා වාද්දුවේ පදිංචි ජයරත්න පෙරේරා අවු. (42) නම් කොතලාවල හමුදා ඇකඩමියේ සේවකයකු වූ අතර ඔවුන්ගේ සිරුරු හඳුනාගත නොහැකි තරමට කැබැලි වී තිබුණ බවද පැවසුණා.

දුම්රිය ලූනාව පාලම ආසන්නයට ළඟා වෙමින් තිබිය දී පාලම ආසන්නයේ දුම්රිය ධාවනය කරමින් තිබියදී දුම්රියට සමාන්තර මාර්ගයේ ධාවනය වූ බට්ටා ලොරියක් අවමංගල රථයකට ඉඩදීම සඳහා නතර කර තිබී ඇති අතර දුම්රිය පා පුවරුවේ සිටි මගියකු පිටෙහි එල්ලාගෙන සිටි ගමන් බෑගයක් පැටලී ඔහු මාර්ගයට වැටීමත් සමඟ සෙසු පුද්ගලයන් ද ඔහුට පැටලී ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය වී ඇත්තේ ඊයේ පස්වරු 4.45 ට පමණය.
අඟුලාන පොලිසියේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී තුවාලකරුවන් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
සිද්ධියෙන් පසු තුවාලකරුවන් පිරිසක් තරුණයන් ගැටුණු ලොරියෙන්ම කළුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. තුවාල ලත් පිරිස අතර චීන ජාතික තරුණියක්ද සිටින බවද ‍පොලීසිය කියා සිටී.
මෙම අනතුර නිසා තවත් 5 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ දුම්රියට පිටුපසින් ඇති මැදිරියේ වන අතර එම අවස්ථාවේ මගීන් විශාල පිරිසක් එහි පාපුවරුවේ ගමන් ගනිමින් සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
මෙම ස්ථානයේ මාර්ගය පටුවීම නිසා අනතුරු රැසක්ම සිදු වුවද බලධාරීන් ඊට කිසිදු පියවරක් ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරති.
අනතුරට හේතුවූ ලොරිය පොලිස්භාරයට ගෙන රියදුරු මේ වනවිට අත්අඩංගුවේ පසුවේ.