රාජගිරියේ ගුවන් පාලම ගැන විවේචන වැරදියි
ට්‍රැෆික් අඩුකරන්න
තව සති කීපයක් ඉවසන්න -RDA


පසුගියදා විවෘත කෙරුණු රාජගිරිය ගුවන් පාලම නිසා මාර්ග තදබදයට තවම විසඳුමක් ලැබී නැති බවට මේ වනවිට දැඩි විවේචන එල්ලවෙමින් පවතී. මහජන මුදල් නාස්තිකරමින් මෙවැනි ව්‍යාපෘති දියත්කිරීම ඵලදායි නොවන්නේ මන්ද යන්න ගැන ඒ අනුව සංවාදයක්ද බිහිව ඇත. කෙසේ වෙතත් එහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය හෝ පිළිබඳව අදහස් පළ කිරීමට තවමත් ඉක්මන් වැඩි යැයි මාර්ග සංවර්ධන අධිකාරිය ඊයේ නිවේදනයත් නිකුත් කරමින් දන්වා තිබේ.
ගුවන් පාලමක් ඉදිකළ මුල් දිනවලදී වාහන තදබදයක්
මතුවීම එය බලන්නට ආසා අය නිසා සිදුවන බවද මෙය ලෝකයේ ඕනෑම ගුවන් පාලමකදී ඇති විය හැකි තත්වයක් බවද ඔවුන් දන්වා සිටී.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් ආර්. සූරියආරචිචි මහතා නිතුත් කළ එම නිවේදනය මෙසේය.

‘ගුවන් පාලමක් විවෘත කිරීමෙන් පසුව

එළඹෙන මුල් දිනවලදී විශාල පිරිසක් එය පාවිචිචි කිරීමට යොමුවීම ස්වාභාවික සිද්ධියකි. ඒ නිසා මුල් දිනවල දී වාහන තදබදයත් එම ස්ථානවල දැකිය හැක. මේ තත්ත්වය සති දෙකක් තුනක් ගත වන විට සමතුලිතතාවයට පත්වීම සාමාන්‍ය කරුණකි.

 ගුවන් පාලම යටද පිටතද ගුවන් පාලම නිම කිරීමේ අවසන් අදියරේ කටයුතු තවමත් සිදුකරමින් පවතී. ගුවන් පාලම තැනීමේ කටයුතුවලට පහසුවීම සඳහා විටින් විට සමහර මංතීරු වසා දැමීමට සිදුවන අතර එමගින් ද වාහන තදබඳය ඇති විය හැක. ඉදිරි සති කිහිපය තුළ දී මෙම කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වන අතර එසේ නිම කිරීමෙන් පසුව මහජනතාවට නිදහසේ ගමන් කිරීමට අවකාශය සැලසෙනු ඇත. මේ කාර්යයේදී සහාය දැත්වූ සැමට ද විශේෂයෙන් රාජගිරිය වෙළෙඳ ප්‍රජාවට ද අපි ස්තුතිවන්ත වෙමු. ඔවුන් දැක්වූ සහයෝගය විශේෂයෙන් ඉඩම පවරා ගැනීමේ දී ඔවුන් දැක්වූ සහාය හේතුවෙන් ගුවන් පාලම දෙපසම ඉදිකිරීම කටයුතු එක විට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට හැකි විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් නියමිත දිනයට මාස 11කට පෙර ඉදිකිරීම් කටයුතුවල ඉහළ ගුණාත්මකභාවය ද ආරක්ෂා කර ගනිමින් ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු අවසන් කිරීමට හැකි විය. රාජගිරිය හා අවට වාහන

තදබඳ වන ස්ථාන කලින් හඳුනාෙගන තිබුණ අතර ඒ සියලු වාහන තදබදවලින් නිදහස් වීමට රාජගිරිය ගුවන් පාලම සමග හඳුනාගත් මාර්ග කිහිපයක් වැඩි දියුණු හා අලුතින් තැනීමට ද කටයුතු සැලසුම් කර ඇත.

පාර්ලිමේන්තු පාරට (මැක්ඩොනල්ඩ් ඉදිරිපිටින්) සම්බන්ධ වන නාවල නාරාහොන්පිට පාර ඉදිකරනු ලබන්නේ නාරාහේන්පිටට යන වාහන ආයුර්වේද පෙදෙසට ඒම වැළැක්වීමටය. දේවී බාලිකා හන්දියේ සිටි ඇල්විටිගල මාවතට සම්බන්ධ කෙරෙන මාර්ගය ද දැනට ඉදිකෙරෙමින් පවතින අතර කනත්ත වටරවුමට වාහන ගලා යෑම වැළැක්වීම එම පාර තැනීමේ අරමුණයි. පාර්ලිමේන්තු පාරට දිවෙන වාහන අඩු කිරීම සඳහා වෙනත් දිසාවන්ට යොමු කිරීම සඳහාත් හඳුනාගත් ඇතැම් අතුරු පාරවල් ද අලුත්වැඩියා කිරීම දැනටම අරඹා ඇත. මෙම වැඩිදියුණු කිරීම මගින් පාර්ලිමේන්තු පාරේ වාහන තදබඳය අඩුවන අතර ගුවන් පාලම තැනීමේ කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව එහි ප්‍රතිලාභ නුදුරු අනාගතයේදිම ජනතාවට ලැබෙන බවට ද සහතික වන්නෙමු. ‘