"අපට පරක්කු වෙන්න බෑ” කියූ කොන්දා
කෙස් කළඹ කඩා පාසල් දැරිය  බිමට බස්සවලා


 මිතුරියගේ පාසල් බෑගයේ පැටලී තිබූ කොණ්ඩා කොටසක් බේරා ගැනීමට කාලය ගතවීම නිසා
 17 හැවිරිදි පාසල් සිසුවියකගේ කොණ්ඩය ඇද කඩා දමා ඇයව බස් නැවතුමෙන් බස්සවා පිටත්කර හැරීමේ සිද්ධියක් ඊයේ බණ්ඩාරගම වැල්මිල්ල සේනපුර ප්‍රදේශයේදී සිදුව ඇත.
මෙම සිද්ධියට මුහුණ පෑ දැරිය පිළියන්දල ප්‍රදේශයේ
පාසලක අධ්‍යාපනය

ලබන්නියකි.ඊයේ (30) දහවල් පාසල නිම වී නිවස කරා පැමිණීම සඳහා මිතුරියන් සමග මාර්ග අංක 162 පිළියන්දල සිට බණ්ඩාරගම කරා පැමිණෙන බස් රථයක එද්දී මෙම සිද්ධියට මුහුණපා ඇත.

ඇය නිවසට යන්නට බසින ස්ථානයේදී රථයේ පා පුවරුව අසලට පැමිණෙන්නට සූදානම් වෙද්දි තමා සමග එකට ආ මිතුරියකගේ බෑග් එකක තම කොණ්ඩය පැටලී තිබී ඇති අතර එම අවස්ථාවේ ඇයට එක්වරම පැටලිල්ල ලිහාගන්නට බැරිවී ඇත. බස් රථය අද්දන්න හැදුවත් ටිකක් ඉන්න කියමින් ඇය තවත් වේලාව ඉල්ලාගෙන කොන්ඩයේ පැටලිලි ලිහමින් සිටියදී කොන්දොස්තර තැන එතැනට පැමිණ
"ඔහොම කරන්න ගියොත් පරක්කු වෙනවා” යැයි පවසා පැටලුණු කෙස් කළඹ බෑගයෙන් ඇද කඩා දමා දැරිය බස් රථයෙන් බස්සවා තිබේ.

මෙම ක්‍රියාව නිසා ඇය තිගැස්මකට ලක්ව ඇති අතර සිද්ධිය දුටු අයත් කම්පනයට පත්ව ඇත.
අනතුරුව බස් රථයෙන් බැසගිය සිසුවිය දෙමාපියන්ට දන්වා සිද්ධිය පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙම ක්‍රියාව සිදු කළ කොන්දොස්තර තැන පැය කිහිපයක් තුළ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

 සිසුවිය බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර ඇත. කොන්දොස්තරගේ ක්‍රියාවෙන් දැරියගේ කෙස් කළඹෙන් සැලකිය යුතු කොටසක් කැඩී ඇති බව රෝහල් ප්‍රකාශිකාවක් පැවසුවාය. අත්අඩංගුවට ගත් කොන්දොස්තර බණ්ඩාරගම වීදාගම පදිංචි 43 හැවිරිදි විවාහකයෙකු වන බවත් දරුවන්ද සිටින පියෙක් බව පරීක්ෂණවලදී හෙළිව ඇත.