කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් මඩාටුගම ප්‍රදේශයේ රජයේ පාසලක 10 වැනි වසරේ ඉගෙන ගන්නා සි සුවියකට එහි විනය පාලක කමිටුව සහ විදුහල්පතිවරිය විසින් ලබා දුන් අපූරු දඬුවමක් නිසා ඇය මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන්නීය.



මඩාටුගම හැවැන්තැන්නේගම ප්‍රදේශයේ පදිංචි ඉතා දිළිඳු පවුලක දියණියක වන මෙම සිසුවිය මීට දින කිහිපයකට පෙර සුපුරුදු පරිදි උදේ ආහාරය නොගෙන පාසැලට ගොස් තිබේ.

පසුව ඇය පාසලේ  වමනය කර ඇත. තවත් සිසුවියන් තිදෙනෙකු විදුහල්පතිනියට මේ බව දැනුම්  දී   ඇත්තේ  පෙර කී සිසුවිය ගැබ් ගෙන ඇති බවට ය.

විදුහල්පතිනිය වහාම විනය මණ්ඩලයේ ගුරුවරුන් කිහිප දෙනෙකු ද සමඟ සාකච්ඡා කොට පැය කිහිපයක් ඇතුළත මෙම සිසුවියගේ මව්පියන් පාසලට ගෙන්වා  සිසුවිය ගැබ් ගෙන ඇති බව පවසමින්  අස්වීමේ ලිපිය ලබා දී පාසලෙන් පිටත් කොට යවා ඇත .

අනතුරුව දැරියගේ දෙමව්පියන් දැරිය දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කොට විදුහල්පතිනිය කී කථාව වෛද්‍යවරුන්ට පවසා ඇත. වෛද්‍යවරුන් දැරිය දින කිහිපයක් තබා ගෙන පරික්ෂා කර බැලූ අතර වෛද්‍ය  නිගමනය වූයේ මෙම දැරියට කිසිදු අතවරයක් හෝ ගැබ් ගැනීමක් සිදුව  නැති  බව ය.

දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි  ගාමිණී සේනානායක මහතාගෙන් අප කළ විමසීමේ දී ඔහු කියා සිටියේ නාරි හා ප්‍රසව වෛද්‍යවරියත්  අධිකරණ වෛද්‍ය නිලධාරියාත් මෙම සිසුවිය දැඩි ලෙස පරීක්ෂා කර බැලූ නමුත් විදුහල්පතිනිය කියන ආකාරයේ  කිසිදු හානියක් දැරියට සිදු ව නොමැති නිසා රෝහල මගින් මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශයට පවා පැමිණිලි කරනු ලැබූ බව ය.

මෙම සිද්ධියෙන් සිසුවිය දැඩි මානසික පීඩනයකට පත්ව සිටින නිසා ඇයගේ මනස සැකසීම සඳහා ඇයව තව දුරටත් රෝහලේ තබා ගෙන සිටින බව වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවාසනාවන්ත සිදුවීමට මූණ පෑ දැරියගේ මව්පියන් සොයා අපි මඩාටුගම හැවැන්තැන්නේගම  ගම්මානයට ගියෙමු.

කුඩා පැලක පදිංචිව සිටින  දැරියගේ මව්පියන් කුලීවැඩ කරමින් ජීවිතය ගැට ගසා ගනී.

දැරියගේ මව වූ ඩී. එම්. සෝමාවතී (57 )මහත්මිය කියා සිටියේ තම දියණිය පිළිබඳව පසුගිය දොළොස් වැනිදා විද්‍යාලයේ ගුරුවරයකු විසින් තමන්ට දුරකථනයෙන් කතාකොට පියා ද සමඟ පාසලට එන ලෙස දැනුම් දුන් බවයි.

එහි ගිය පසු තම දියණිය ගැබිනියක වී ඇති බව දැනුම් දී පාසලෙන් රැගෙන යන ලෙස තමන්ට දැනුම් දුන් බව ද ඇය පැවසුවාය. එහෙත් එම චෝදනාව තම දියණිය ප්‍රතික්ශේප කළ ද ගුරුවරුන් තනි මතයක සිටි බවද ඇය පැවසුවාය.
ඉගෙනීමට වඩා දක්ෂතා ඇති තම දියණිය ට විරුද්ධව යම් කිසි සිසුවියන් පිරිසක් සිදුකළ චෝදනාවක් නිසා තමන්ට දියණිය පිළිබඳව බලවත් දුකක් ඇති වූ බවත් ගුරුවරුන් නගන චෝදනාව නිසාම තමන් රුපියල් 500ක මුදලක් ණයට ඉල්ලාගෙන තම දියණිය දඹුල්ල රෝහලට රැගෙන ගිය බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. රෝහලේදී දුවගේ  නිර්දෝෂිභාවය ඔප්පු වූ බවද ඇය හැඬු කඳුලින් පැවසුවාය.

දැරියගේ පියා වූ  එච් .බී. කිරිබණ්ඩා( 66 )මහතා කියා සිටියේ තමන් 2 වසරට පමණක් පාසල් ගිය බවත් තම බිරිඳ පාසල් නොගිය බවත්ය. එහෙත් තම දියණියට ඉගැන්වීම සඳහා දෙදෙනා විශාල මහන්සියක් වන බවය.

මේ පිළිබඳව කරුණු විමසීම සඳහා  අප මඩාටුගම රේවත  ආදර්ශ විද්‍යාලයේ විදුහල්පති  එස් .කේ . ගොඩකන්ද මහත්මියට  අප දුරකතනයෙන් කතා කොට මේ පිළිබඳව විමසීමක් කළෙමු.

එහිදී ඇය කියා සිටියේ මෙම සිසුවියගේ කල්කිරියාව හොඳ නැති නිසා  මේ තීරණයට පැමිණි බවය.  මෙම සිසුවිය ගැබිනියක් බවට එම සිසුවිය විසින්ම තවත් සිසුවියන් දෙදෙනෙකු සමග සඳහන් කොට තිබූ නිසා  ඇය විද්‍යාලයන  ඉවත් කිරීමට  සිදු වූ බව ද ඇය සඳහාන් කළාය.

උද්ගත වූ තත්ත්වය උඩ සිසුවිය පාසලේ තබා ගැනීමට නොහැකි නිසා මව්පියන් විසින්ම සිසුවිය පාසලෙන් ඉවත් කර ගෙන ගිය බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.