අම්බලන්ගොඩ, කන්දෙගොඩ ප්‍රදේශයේ බාලවයස්කාර දැරියකට ලැබුණු දරුවාගේ පියා, එම බාලවයස්කාර දැරියගේ පියා බවට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් මඟින් තහවුරු වී තිබෙන හෙයින් නඩුව ඉදිරියට ගෙන යෑම සඳහා
නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසට බළපිටිය මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය පෙරේදා (23දා) අම්බලන්ගොඩ පොලිසියට නියෝග කළාය.
මීට අදාළව නීතිපතිවරයා වෙත යවා තිබෙන ගොනුව සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලන ලෙසත් නැවත නඩුව 2018 වසරේ ජුනි 01 දින කැඳවන බවත්

මහෙස්ත්‍රාත්වරිය මෙහිදී වැඩිදුරටත් දැනුම් දුන්නාය.

අම්බලන්ගොඩ කන්දෙගොඩ ප්‍රදේශයේ 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් සිය පියා විසින් දූෂණය කර ඇය ගැබිනියක් බවට පත් කර තිබෙන්නේ යැයි 2015 සැප්තැම්බර් මාසයේ නිර්ණාමික දුරකතන ඇමැතුමක් ඔස්සේ අම්බලන්ගොඩ පොලිසියට දැනුම් දී තිබේ. පසුව අම්බලන්ගොඩ පොලිසිය දැරියගේ පියා අත්අඩංගුවට ගෙන බළපිටිය මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කර ඇත. දැරියත් දැරියගේ පියා හා පවුලේ අයත් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සැකකරු ඇප මත නිදහස් කර තිබේ.
එම අවස්ථාවේදී දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විට දැරිය සය මස් ගැබිනියක බව වෛද්‍ය වාර්තා මඟින් තහවුරු කර තිබිණි.

පසුව දැරියට දරුවා ලැබීමෙන් පසු එම දරුවා සහ දැරියගේ පියා අම්බලන්ගොඩ පොලිසිය මඟින් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකයා වෙත යොමු කර තිබේ. දෙදෙනාගේ ඩී.එන්.ඒ. සැසඳෙන බවට වූ ඩී.එන්.ඒ. වාර්තාව ලැබීමෙන් පසු අම්බලන්ගොඩ පොලිසිය බළපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කර සැකකරුට එරෙහිව නඩු පවරා ඇත.

දැරිය දූෂණය කිරීම සහ කරුණු වසන් කිරීම යටතේ දැරියගේ පියාටද දැරිය සඟවා ගෙන සිටීම සම්බන්ධයෙන් දැරියගේ මවට සහ තවත් දෙදෙනකුට එරෙහිව අම්බලන්ගොඩ පොලිසිය නීතිපතිවරයා වෙත යොමුකරන ලද ගොනුවේ කරුණු දක්වා ඇත.

අම්බලන්ගොඩ පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් ගීතානන්ද සිල්වා (6790) මහතා උසාවියේදී කරුණු ඉදිරිපත් කර නඩු කටයුතු මෙහෙයවීය.

බළපිටිය - දම්සරී ලියනගේ