දසුන් නිශාන්ගේ මරණයට
ශලනියි -  සංදීපනීයි දෙන්නම වගකිව යුතුයි
- දසුන්ගේ මව

පසුගියදා අනපේක්ෂිත ලෙස ජීවිතය ගැන කලකිරී සියපණ නසාගත් දසුන් නිශාන් ටෙලි නළුවාට සම්බන්ධ සිද්ධිය ගැන මේ දක්වා තිබුණ ආරංචි වෙනතකට හරවමින් මියගිය දසුන්ගේ මව  ශ්‍යාමා හේරත් සතිඅන්ත පුවත්පතකට අලුත් කතාවක් හෙළි කර තිබේ.
එහිදී ඇය මියගිය දසුන්ගේ පෙම්වතිය ටෙලි නිළි ශලනි තාරකාට මෙන්ම විවාහක බිරිය සංදීපනීටද දෝෂාරෝපණය කර ඇති අතර මේ මරණයට ඔවුන් දෙදෙනාම වගකිව යුතු යයි පවසා තිබේ.

මගේ නම ශ්‍යාමා හේරත්. මගේ උපන් ගම නුවර.  මගේ මහත්තයා සිවිල් ඉංජිනේරුවෙක්‌. ඒක නිසා අපිට හොඳට සල්ලි තිබුණා. දශක තුනකට විතර ඉස්සර විවාහයෙන් වසරකට පමණ පසු දසුන් පුතා ඉපදුනේ.මුලින් අපි  අස්‌ගිරිය ප්‍රදේශයේ ජීවත් වුණා. පසුව වේවැල්දෙණිය ප්‍රදේශයේ නිවසක්‌ හදාගෙන පදිංචි වුණා.දසුන් මිරිගම කනිෂ්ඨ විදුහලට ඇතුළත් කරාට පසු මිශ්‍ර පාසලක්‌ වුන එහෙදි තමයි මගේ පුතා සංදීපනි සමඟ යාළුවෙන්නේ.
සාමාන්‍ය පෙළ විභාගයෙන්
හොඳම ප්‍රතිඵල ලබාගෙන එයාට ගම්පහ බණ්‌ඩාරනායක විදුහලට යන්න පුළුවන් වුණා. අවුරුදු දෙකකට විතර පස්‌සේ මගේ ස්‌වාමි පුරුෂයා විදේශ රැකියාවක්‌ කිරීම සඳහා කැනඩාව බලා පිටත් වුණා.
 එහෙම ගිහිල්ලා කාලයක්‌ ගතවෙනකොට එයා එහෙදි වෙන විවාහයක්‌ කර ගත්තා. ගොඩක් දුක හිතුණත් සැමියා එයාට කැමති දෙයක්‌නේ කරගෙන තියෙන්නේ කියලා හිත හදා ගත්තා.
 කොහොම හරි මගේ දරුවො දෙන්නට හොඳින් උගන්නලා සමාජයේ හොඳ තැනකට රැගෙන එනවා කියලා මං හිතුවා.

මම ඉතිරි කරගත් සල්ලිත් ගොඩක්‌ තිබුණා. කාර් එකකුත් මට තිබුණා. නමුත් ආදායම් මාර්ගයක්‌ නොමැති නිසා අතේ තිබුණ සල්ලි අඩුවෙන්න පටන් ගත්තා.
දසුන් යාළුවකුගේ මාර්ගයෙන් එයා නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණා. විභාගයෙන් පසුව දසුන් දීර්ඝකාලීනව නිරූපණ ක්‍ෂේත්‍රයට යොමු වුණා.
ඒ සමඟම තොරතුරු තාක්‍ෂණය පිළිබඳ බාහිර උපාධියක්‌ හැදැරුවා කොළඹ සරසවියේ.
ඔය කාලය අතරතුර දිනක්‌ සංදීපනී සමඟ තිබුණ ආදර සම්බන්ධතාවය ගැන පුතා මට පැවසුවා. මුලින්ම මම ඒ සම්බන්ධතාවට විරුද්ධ වුණා. මොකද සංදීපනිලාගේ පවුල අපිට ගැලපුණේ නැහැ. මම ඒ පවුලට අපහාස කරනවා නොවේ. ඇත්තටම ඒගොල්ලන්ට අපිට තරම් ආර්ථික මට්‌ටමකුත් තිබුණේ නැහැ. දිගින් දිගටම පුතා මේ ගැන මගෙන් අහනවා. අවසානයේ එයාගේ කැමැත්තට ඉඩ දීලා මම මේ සම්බන්ධතාවට කැමති වුණා. එතැනින් පසුව තමයි සංදීපනිලාගේ පවුලේ අයව මම හඳුනා ගත්තේ. වේවැල්දෙණිය නිවස විකුණූ සල්ලි වලින් රුපියල් ලක්‍ෂ දහයක මුදලක්‌ මම දසුන් පුතාට දුන්නා.

 2014 වර්ෂයේ සංදීපනිලාගේ ගෙදර අය විවාහයට සූදානම් වුණා. දසුන් පුතා මේ අපි ඉන්න ඉඩම ගත්තෙ මම දීපු සල්ලිවලින්.
 නිවෙස්‌වලින් කැමැත්ත ලැබුණු පසු සංදීපනි මා සමඟත් ඉතා ළඟින් ආශ්‍රය කරන්න පටන් ගත්තා. ඇත්තටම මම එයාට සැලකුවේ මගේ දුවෙක්‌ විදිහට. මම එයාට හිත රිදෙන්න වචනයක්‌වත් කියලා නැහැ. ඔය අතරතුර දෙන්නගේ විවාහ ගිවිස ගැනීම සිදුවුණා 2015 වර්ෂයේදී. ඊට පස්‌සේ පුතා සංදීපනිලගේ ගෙදරත් නැවතිලා හිටියා.
දසුන් පුතා අපි දැන් පදිංචිවෙලා ඉන්න මේ නිවසේ වැඩ කටයුතු පටන් ගත්තෙත් ඔය කාලේදීමයි. ඔහු පළමුව කුඩා කාමර දෙකක්‌ සහිතව දෙමහල් නිවසේ පිටුපස කොටස සාදා ගත්තා. එලෙස සාදාගත් නිවසට 2015 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා අපි පදිංචියට පැමිණියා.
 එහි පදිංචියට ආ පසු දසුන් පුතා නිතරම පැවසුවේ අම්මේ අම්මා මැරෙනකම්ම මෙහේ ඉන්න ඕන. ඉක්‌මනට මම මේ නිවසේ වැඩ ඉවර කරනවා කියා. එලෙස වසර දෙකක්‌ පමණ ගතවී ගියා. පුතා ඒ අතර කලා ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට ගියා. විවේක ලද හැම මොහොතකම පැමිණ මගෙයි එයාගේ මල්ලිගෙයි දුක සැප හොයලා බැලුවා. මල්ලිට එයා නිතරම පැවසුවේ පිටරට ගිහින් ඉගෙන ගන්න. එයත් උදව් කරන්නම් කියා.
පහුගිය අගෝස්‌තු 2 වැනිදා පුතා ගෙදර ආවා. රාත්‍රි කෑම ගන්නා අතරතුර එයාට කෝල් එකක්‌ ආවා. මට තේරුණා ඒ කතා කළේ පිරිමි කෙනෙක්‌ නොවන බව. පසුව මම පුතාගෙන් ඒ ගැන ඇහුවා. ඒත් එයා වැඩි විස්‌තරයක්‌ මට කිව්වේ නැහැ. මට තේරුණා මොකක්‌ හරි අවුලක්‌ තියෙනවා කියලා. මගේ දසුන් පුතා වැඩිය කතා කරන කෙනෙක්‌ නොවෙයි. හැම දේකටම දෙන්නේ කෙටි උත්තර. ඒක නිසා ඒ සම්බන්ධයෙන් ලොකු දෙයක්‌ මට අහගන්නත් බැරි වුණා.
 සංදීපනිත් වෙනදා වගේ මට කතා කරන්නෙත් නැහැ. ඒ ගැනත් මට පොඩි සැකයක්‌ තිබුණා. දවසක්‌ සංදීපනි යන ගමනක්‌ ගැන අහද්දි එයා මට කීවා යන හැම තැනක්‌ම ඔයාට කියලා යන්න ඕනැද කියලා. ඒ එක්‌කම අගෝස්‌තු 10 මගේ යාළුවෙක්‌ කතා කරලා ඇහුවා ඔයාගේ දුව ඕස්‌ට්‍රේලියාවේ ගියා නේද? කියලා. මම කිව්වා මට කියලා ගියේ නැහැ කියලා.
පස්‌සේ මම පුතාගෙන් ඒ ගැන විමසුවා. පුතා කිව්වා ඔව් අම්මේ සංදීපනි රට ගියා කියලා. ඉතින් මම ඇහුවා පුතා ඇයි ගියේ නැත්තේ කියලා. අම්මා මට වැඩ තියනවා ඒක නිසා ගියේ නැහැ කීවා.
 හැබැයි වෙනදාට වඩා පුතා ගෙදර එන්න පටන් ගත්තා. ඒ එන හැම වෙලාවකම මම අහනවා දුව කතා කළා ද කියලා.
පුතා කියනවා ඔව් කියලා. ඊට වඩා වැඩි දෙයක්‌ එයා කියන්නේ නැහැ. කොච්චර මම අහන්න උත්සහ කළත් එයා උත්තර දෙන්නේ නැහැ. හැබැයි මොකක්‌ හරි ප්‍රශ්නයක පුතා ඉන්න බව මට තේරුණා.

 පුතා ඉන්න ප්‍රශ්නය මොකක්‌ද කියලා අහන්න මම දුවට දුරකථන ඇමතුමක්‌ ගත්තා. එතකොට එයා කිව්වා දැන් එයා ගැන කතා කරලා වැඩක්‌ නැහැ මගෙන් මොකුත් අහන්න එපා. එයාගෙන්ම අහගන්න කියලා. මම ඒ වෙලාවේ කිව්වා පුතා මට මොකුත් කියන්නේ නැහැ ඔයා මට කියන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ සංදීපනි දුව කිව්වා මම දැන් පාසලේ වැඩක ඉන්නේ පස්‌සෙ ඔයාට ගන්නම් කියා.
 හවස සංදීපනි දුව මට දුරකථන ඇමතුමක්‌ ගත්තා. ඒ අරන් පැවසුවේ දසුන්, නිළියක්‌ සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ජනවාරි මාසයේ සිට ඇතිකරගෙන තිබෙන බවත් එය තමාට හසුවුණේ ජුනි මාසයේදී බවත්ය. ඒ පිළිබඳ විමසීමේදී දසුන් වරද පිළිගත් බවත් දැන් ඔහු තමාව බලන්න එන්නේ නැති බවත් ඇය පවසා ඇත. මෙයට අමතරව සංදීපනි ඇයට වැඩිදුරටත් පවසා ඇත්තේ ශලනි අක්‌කා මට හැම දෙයක්‌ම පවසන බවයි.
 මෙයට අමතරව සංදීපනි ඇයට කතා කරන හැම මොහොතකම දසුන්ගේ ලස්‌සන මුහුණ නිසා තමයි මේ සේරම වුණේ. ඒක නිසා එයාගේ මූණ කුඩුපට්‌ටම් වෙන්න ඕනෑ, ඕකට යහතින් ජීවත් වෙන්න දෙන්න හොඳ නැහැ. ඉක්‌මනටම මැරෙන්න ඕනෑ කියා දෙස්‌ දෙවොල් කියා තිබේ. එවිට ඇය පවසා ඇත්තේ දෙස්‌ දොවොල් නොතියා ප්‍රශ්නයක්‌ තියෙනවනම් බේරාගන්න කියාය.


මෙම සිද්ධිය පිළිබඳව ඇය දසුන්ගෙන් විමසා තිබේ. එවිට ඔහු ශලනි තාරකා සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇති බවට පිළිගෙන තිබේ. වැඩිදුරටත් පවසා ඇත්තේ තමා බලාපොරොත්තු වූ ආදරය සංදීපනිගෙන් නොලැබුණු නිසා ශලනි සමඟ ආදර සම්බන්ධතාවක්‌ ඇතිකර ගත් බවයි. එවිට ඇය පවසා ඇත්තේ සංදීපනී දුවට අසාධාරණයක්‌ කරන්න එපා කියාය.
 අවසන් වරට ඇය දසුන් සමඟ කතා කර ඇත්තේ සැප්තැම්බර් 24 වැනිදාය. ඒ ඔහු ගෙල වැලලාගෙන මියයැමට පෙර දිනයේය. ඒ අවස්‌ථාවේදී පවා දසුන් පවසා ඇත්තේ
"මම හොඳින් ඉන්නවා. මල්ලිට හොඳින් උගන්වන්න. අම්මා මැරෙනකම්ම ඔතන පදිංචිවෙලා ඉන්න ඕනෑ" කියාය.

 පසුදින සංදීපනි දසුන්ගේ මවට දුරකථන ඇමතුමක්‌ දී පවසා ඇත්තේ "අන්න අරූ මැරිලා" කියාය.
දසුන්ගේ මරණය ඇය දැනගෙන ඇත්තේ ඒ ආකාරයෙනි. දසුන්ගේ මළ සිරුර රෝහලට ගෙන යන අවස්‌ථාවේදී ඔහුගේ මුදල් පසුම්බිය යහළුවකු දසුන්ගේ සොහොයුරාට දී තිබේ. එය දුටු සංදීපනි සොහොයුරාගෙන් මුදල් පසුම්බිය රැගෙන දසුන්ගේ බැංකු කාඩ් ටික රැගෙන තිබේ. එම මොහොතේ ඇයට වටින දේ වී ඇත්තේ දසුන්ගේ බැංකු කාඩ් පමණි. එලෙස පවසන්නේ දසුන්ගේ මවයි.

 දසුන්ගේ මව වන ශ්‍යාමා හේරත් යළි සංදීපනි සහ ශලනි ගැන පැවසුවේ මෙවැනි දෙයකි.
"මගේ පුතා සංදීපනිගෙන් වෙන් වෙන්න හේතුව මම පස්‌සෙ හොයලා බැලුවා. එතකොටයි දැනගන්න ලැබුණේ. පුතා බලාපොරොත්තු වූ ආදරය ඇයගෙන් ලැබිලා නැහැ. ශලනි සමඟ තිබුණ සම්බන්ධය ඇය දැනගත් පසුව ශලනි සමඟ හිතවත්කමක්‌ ගොඩනඟාගෙන මගේ පුතාට විවිධ බලපෑම් කරලා තියෙනවා. ඒ සමඟම ශලනි ද දසුන් සමඟ යන එන තැන් ආදී සියලු තොරතුරු දසුන්ට හොරෙන් සංදීපනිට පවසා තිබේ. මේ අයුරින් ශලනියි සංදීපනියි එකතුවී මගේ පුතාගේ ඔළුව නරක්‌වෙන විදිහටයි හැසිරිලා තියෙන්නේ. අවසානයේ ඒ දෙන්නගෙන් එන පීඩනය දරාගන්න බැරුව තමයි මගේ පුතා සියදිවි හානිකරගෙන තියෙන්නේ."

 "මම කියන්නේ නැහැ මගේ පුතා මෙතැනදි නිවැරැදියි කියලා. එයාගෙත් වරදක්‌ තියෙනවා. හොයන ආදරය නොලැබුණා කියලා විවාහ වුණ බිරිඳව අතහැරලා වෙන කෙනෙක්‌ ළඟට යන්න නරකයි. නීතිමය වශයෙන් වෙන් වෙන්නත් පුතා සංදීපනිට යෝජනා කරලා තිබුණා. එහෙත් එයා ඒකට කැමති වෙලා නැහැ. අවසානයේ මේ දෙන්නටම ඕනවෙලා තිබුණේ මගේ පුතා එක්‌ක ජීවත් වෙන්න."

 "සංදීපනි කියලා තිබුණා මම දසුන්ලාගේ පවුලට ගොඩක්‌ උදව් කළා කියලා. ඒක අමූලික බොරුවක්‌. ඒගොල්ලන්ට කාටවත් උදව් කරන්න පුළුවන් මට්‌ටමේ ආර්ථික තත්ත්වයක්‌ තිබුණේ නැහැ. ඒක මම වගකීමෙන් කියනවා. සංදීපනි අපිට මුදල් වලින් කිසිම උදව්වක්‌ කරලා නැහැ. ඒ වගේම ඇය දසුන් මගේ සල්ලිවලින් ගත්ත අපි දැන් පදිංචිවෙලා ඉන්න ඉඩමේ ඔප්පුවත් අරන් ගිහින් තියෙනවා. ඇය මට කිව්වා මගේ බාල පුතාගේ උසස්‌ පෙළ විභාගය අවසන් වූ ගමන් මේ නිවසින් අපිව පන්නලා දානවා කියලා. බලන්න ඇය කොතරම් පහත් විදිහටද අපිට සැලකුවේ කියලා. ඒ මදිවට දැන් ඇය ඉන්නෙත් ඕස්‌ට්‍රෙලියාවේ."

 "මම සංදීපනි දුවගෙන් එක ඉල්ලීමක්‌ කරනවා. මගේ පුතා මිලදී ගත් අපි ජීවත්වෙලා ඉන්න මේ නිවසෙන් අපිව පන්නන්න හදන්න එපා. මගේ පුතා ජීවත්වෙලා ඉන්නකම් කීවේ "අම්මේ අම්මා මැරෙනකම් මෙතන ජීවත්වෙලා ඉන්න ඕන කියලා."

 "ශලනි තාරකාටත් මට කියන්න දෙයක්‌ තියෙනවා. එයා කවි පන්තියක්‌ දාලා තියෙනවා හත් දවසක්‌ යන්නත් කලින් නැන්දම්මලා ලේලිලා එකතුවෙලා දේපළ බෙදාගන්න බැරිව රණ්‌ඩු වෙනවා කියලා. ඒක අමූලික බොරුවක්‌. මම නොවෙයි දේපළ ඉල්ලලා රණ්‌ඩු වෙන්නේ සංදීපනි. ඒක මතක තියාගන්න. මට මගේ ජීවිතේ වටිනාම වස්‌තුව අහිමි වුණා ඒගොල්ලන්ගේ සමහර වැඩ නිසා. ඒක නිසා මට මේ දේපළවලට රණ්‌ඩු වෙලා වැඩක්‌ නැහැ."

 "ශලනි තාරකා කියන්නේ කවුද කියලා මුළු රටම දන්නවා. ඒක නිසා එයා කියලා තියෙන වැරදි ප්‍රකාශයට ප්‍රසිද්ධියේ එයා මගෙන් සමාව ගන්න ඕනෑ"

 "මගේ පුතා මත් පෙති ගන්නවා දිනපතා මත් ද්‍රව්‍ය පාවිච්චි කරනවා, "බ්ලූ වේල්" ගේම් එක සෙල්ලම් කළා. කාන්තාවන් පසුපස ගියා කියා නොයෙක්‌ චෝදනා සමහර මාධ්‍ය ඔස්‌සේ එල්ල කර තිබුණා. මම වගකීමෙන් යුතුව කියනවා මගේ පුතා ඒ වගේ කෙනෙක්‌ නොවෙයි කියලා. සාදයකදී මත්පැන් ටිකක්‌ බිව්වට එයා ඉහත සඳහන් කළ ආකාරයේ පුද්ගලයෙක්‌ නොවේ. හරිම අහිංසක සංවේදී මිනිහෙක්‌."

 අවසාන වශයෙන් ද ඇය පවසා සිටියේ තම පුතාගේ මරණයට ශලනි තාරකා සහ ඔහුගේ විවාහක බිරිඳ වන සංදීපනි ද වගකිව යුතු බවයි.

 මගේ පුතා මෙහෙම මැරෙන්න ඕන කෙනෙක්‌ නොවෙයි. එහෙත් එයාව මරා ගත්තා. ඒ ශලනි තාරකා සහ පුතාගේ බිරිඳ සංදීපනි. ඒ දෙන්නා තමයි මගේ රත්‍රන් පුතාගේ මරණයට වග කියන්න ඕනෑ. මම මේක කියන්නේ වගකීමකින් යුතුවයි.

ගයාන් සමරසිංහ (දිවයින)
- පිංතූර නිමල් දයාරත්න