මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ පොද්ගලික හිමිකාරිත්වයෙන් ඉවත්කර වැඩි පිරිසකගේ අයිතිය සහිත නව ආයතනයත් බවට පත් කිරීමට රජය තීරණය කර ඇතැයි උසස් අධ්‍යාන රාජ්‍ය ඇමැති මොහාන්ලාල් ශ්‍රේරු මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායත අනුර  දිසානායක මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්නය පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා ඒ බව කීය. රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය. සයිටම් අධ්‍යාපන ආයතනය 2009 වසරේ රුසියානු උපාධිය සඳහා සිසුන් යොමුකරන ආයතනයක් ලෙස ආරම්භ කළා. පසුව මෙම ආයතනයට දේශීය සිසුන් ලියාපදිංචිය සඳහාත් 2011 වසරේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවසර දී තිබෙනවා. සිසුන් 850ක් අධ්‍යාපන කටයුතු සඳහා මෙහි ලියාපදිංචි කර තිබෙනවා. පසුගිය රජය කාලයේ ආරම්භ කළ මෙම ආයතනය වසා දැමීමට කිසිවකු ඒ කාලයේ කිසිදු ඉල්ලීමක් කළේ නැහැ.
නමුත් වර්තමානයේදී වෛද්‍ය සිසුන් මෙම ආයතනය පිළිබඳ ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජය විසඳුම් රැසක් ඉදිරිපත් කර තිබේනවා.

මාස 9ක් පුරා සිදුකරන වෛද්‍ය සිසු වර්ජනය ගැටලුවක් ලෙස රජය හඳුනාගෙන තිබේනවා. නව වෛද්‍ය පීඨ ආරම්භ කිරීම් සඳහා විශාල ආයෝජනයක් කර තිබෙනවා. ඉදිරි වසර තුන තුළදී එවැනි ක්‍රියාවලියක් සැලසුම් කර තිබේනවා. එවැනි පසුබිමත් තුළ ප්‍රතිපත්තිමය පසුබිමක් මුල් කර ගනිමින් කඩාකප්පල්කාරී දේශපාලන පක්ෂයක හෝ දෙකක ගොදුරු බවට

පත්ව සිටින මෙම වෛද්‍ය සිසුන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු  අඩාල කර ගනිමින් වර්ජනයක යෙදී සිටීම් ගැන අප කණගාටු වෙනවා. වත්මන් රජය අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වෙන්කර තිබියදී වෛද්‍ය සිසුන් මෙලෙස වර්ජනයට පොළඹවා තිබෙන දේශපාලන පක්ෂ සහ එම දේශපාලන පක්ෂවල ඉත්තන් බවට පත්වී ඇති සිසුන්ද මේ සම්බන්ධව වගකිව යුතුයි. මෙම ගැටලූකාරී තත්ත්වය වර්ධනය කිරීමට රජය කිසිදු අයුරකින් දායක වෙන්නේ නැහැ. නමුත්  සියලු පාර්ශ්වයන්ට සාධාරණ වන පරිදි විසඳිය හැකි දෙයක් කළ යුතුයි.
 විසඳුම ආයතනය වසා දැමීම යැයි කියනවා නම් එය ඒක පාර්ශවීය විසඳුමක් පමණයි. වෛද්‍ය සභාවෙ එකඟතාව අනුව සයිටම් වෛද්‍ය සිසුන්ට ලියාපදිංචිය පිරිනැමිමකදී අතිරේක විභාගයකට් පෙනී සිටීමට නියම කිරීම හෝ සායනික පුහුණුව ලබන කාලය දීර්ඝ කිරීමටද රජය පියවර ගන්නවා.
 ඊට අමතරව මෙම ගැටලුව විසඳීම සඳහා මේ වනවිට මෙම ආයතනයට සිසුන් බඳවා ගැනීම වහාම නතර කර තිබෙනවා. ඊට අමතරව වෛද්‍ය සභාව ප්‍රකාශයට පත් කර ඇති අවම ප්‍රමිතිය පිළිබඳ නිර්නායකයන් ගැසට් කිරීම, වෛද්‍ය ප්‍රමිතීන් ස්ථාපනය කිරීම, තත්ත්ව සහතිකය තහවුරු කිරීම් සහ තත්ත්ව සහිත කිරීමට කොමිෂන් සභාවත් පිහිටුවීමට ක්‍රියා කරන බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.