රියදුරා නැති ගිලන් රථයට විසඳුමක්දී
ගැබිණි මවත් දරුවාත් බේරාගත්

වෛද්‍යවරයාට රියදුරු සංගමේ පාට් දාලා

රාජංගනය යාය 11 ප්‍රාදේශිය රෝහලට රිය අනතුරකට ලක්වී හදිසියේ රැගෙන ආ ගැබිනි මවකගේ හා දරුගැබේ ජීවිත අනතුරේ ඇති බව දැක එහි සිටි වෛද්‍යවරයෙකු වහාම ගැබිණි මව අනුරාධපුර රෝහලට මාරු කර යැවිය යුතු යයි තීරණය කර තිබේ. එම අවස්ථාවේ ගිලන් රථ රියදුරු නිවාඩු නිසා ජීවිත මරණයෙන් බේරා ගැනීමට ඉක්මන් විසඳුමක් සැපයූ වෛද්‍යවරයා පිටස්තර රියදුරෙකු කැඳවා එම කර්තව්‍යය ඉටු කර ඇත්තේ ජීවිත ගැන කල්පනා කරමිනි.
නමුත් පොතේ හැටියට වැඩකරන ගිලන් රථ වෘත්තිය සංගමය යයි නම ඇති සංගමයක් උතුරුමැද පළාත් සෞඛ්‍ය විගණන ඒකකයට පැමිණිල්ලක් කරමින් දන්වා ඇත්තේ වෛද්‍යවරයා සිදු කළ කාර්යාල නීතියට පටහැණි විනය විරෝධී කටයුත්තට පරීක්ෂණයක් කරන
ලෙසයි.
රාජංගනය යාය 11 ප්‍රාදේශිය රෝහලේ ස්ථානභාර වෛද්‍ය ගයාන් දිල්රැක් මෙම අවාසනාවත්ත සිදුවීමට මහුණ පෑ වෛද්‍යවරයාය.
ඊයෙ (17) උදෑසන සැමියා සමගින් යතුරු පැදියෙන් ගමන්කරමින් සිටියදී යතුරු පැදියෙන් ඇදවැටුණු සති 36 දරු ගැබක් සහිත මව රෝගාතූරවී අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුලත්කර බැලීමේදී ඇගේ කුසතුල

සිටින දරුවාගේ හෘද ස්පන්ධනය ඉතා වේගයෙන් අඩුවීම පිළිබදව වෛද්‍යවරයා දැඩි අවධානය යොමුකර ඇත. බිරිදගේ කුසතුල වසර හතකට පසුව වැඩුණු කුලුදුල් දරුවාව බේරා දෙන ලෙස ඉල්ලමින් ඇගේ සැමියා රෝහල දෙවනත් කර තිබේ.

මවගේ ජීවිතය හා නූපන් දරුවාගේ ජීවිතය බේරා ගැනීමටනම් වහාම තරුණ ගැබිනි මව අනුරාධපුර ශික්ෂණ රෝහලට ගෙනයා යුතුබව වෛද්‍යවරයා තීරණය කලත් ගිලන් රථ රියදුරා නිවාඩු ලබා තිබීම නිසා රථය පැදවීමට රියදුරෙකු නොමැතිවීම නිසා ඔහු දැඩි ගැටළුවකට මුහුණදී තිබුණි. වහාම ඒ පිළිබදව උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට වාචිකව පවසා පිටස්තර රියදුරෙකු සමග කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියා ගිලන් රථයෙන් ගෙනඒමට කටයුතු කර තිබුණි.

ඔහුගේ දැඩි කැපවීම නිසා ජීවිත දෙකක් බේරා ගැනීමට හැකිවූවත් රෝහලේ ගිලන් රථ රියදුරා නොමැතිව පිටස්තර රියදුරෙකු මගින් රෝගියා රෝහලට රැගෙන ඒම නිසා කූපිතවූ වෘත්තිය සමිති නායකයා ඉතා පහත් අයුරින් කටයුතු කර වෛද්‍යවරයා රෝගියාව අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ඒමට පෙර සිටම විගණන ඒකකයේ නිළධාරින් එම ස්ථානයේ රඳවා වෛද්‍යවරයා රෝහලට පැමිණි අවස්ථාවේ ගිලන් රථය

අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිමත ප්‍රශ්න කර තිබුණි.

ගිලන්රථ වෘත්තිය සංගමයේ නායකයා වෛද්‍යවරයාට ගිලන් රථය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා වියයුතු බව පවසමින් අවලාද නගා ඇති අතර තමන් ලැජ්ජා වීමට පෙර ජීවිත දෙකක් බේරා ගැනීමට ගත් උත්සහය අවභාවිතයක් යැයි කියන මනුස්සකමක් හදවතේ නැති වෘත්තිය සමිතිනායකයන් ලැජ්ජා වියයුතු බව වෛද්‍යවරයා ඔහුට පවසා තිබේ.වෛද්‍යවරයාට එරෙහිව වහාම විගණනයක් පවත්වන ලෙස ගිලන් රථ වෘත්තිය සංගමයේ නිලධාරියෙකු ඊයේ  (17) උතුරුමැද පළාත් සෞඛ්‍ය විගණන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වෛද්‍යවරයා අප්‍රමාදව කටයුතු කිරීම නිසා ඊයේ (17) සවස් වන විට මව හා කුසතුල සිටි දරුවා යහපත් සෞඛ්‍ය මට්ටමකින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිටිබව වාර්තාවිය.