මෙරට අවසන් රජතුමා හට බයිසිකලයක් හෝ මෝටර් සයිලයක් තිබුණා නම් අපට දිගටම නිදහස් ජාතිකයක් ලෙස සිටීමට හැකිව තිබූ බව විශේෂ කාර්යභාර පිළිබඳ ඇමැති ආචාර්ය සරත් අමුණුගම පවසයි.

ඇමැතිවරයා මේ අදහස් පැවැසුවේ 2017 ජාතික ඉන්ජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනයේදී පසුගියදා කළ ආරාධිත දේශනයේදීය.
එහිදී ඇමැතිවරයා මෙසේද පැවැසීය.
‘එතුමා මහනුවරින් පලායන විට ඔහු ගියේ දෝලාවක. ඔහුට යා හැකි වූයේ හැතැප්ම 10ක් පමණයි. ඉංග්‍රීසිකාරයෝ ඔහුව අල්ලා ගත්තා. මෝටර් සයිකලයක් හෝ තිබුණා නම් අහු නොවී
බේරෙන්න තිබුණා.ො

මේ වගේ තමයි අපේ රට විද්‍යාව සහ තාක්ෂණය අතින් ඉහළ සංස්කෘතික තලයකට ප්‍රවේශ නොවුණහොත් අපිට ලෝකය ඉදිරියට යෑම අසීරු වෙයි.
ඒ නිසා විද්‍යාව සහ තාක්ෂණය ඉතා වැදගත් විෂය ක්ෂේත්‍රයක්. අපි කොතෙක් සංස්කෘතිය ගැන කතා කළත් විද්‍යාව සහ තාක්ෂණය අනිත් අපි දියුණු නොවුණහොත් අපට වැඩිදුර ඉදිරියට යා නොහැකියි. අද බොහෝ දෙනා වෛද්‍ය විද්‍යාව හා පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය ගැන කතා කරනවා. ඒ කතා නම් නරකම නැහැ. ඒ වුණත් පෙනිසියුලින් හෝ ප්‍රති ජීවක ඔෟෂධ හෝ හොයාගෙන තිබුණේ නැත්නම්, නවීන රෝග විනිශ්චය ක්‍රම නිපදවා තිබුණේ නැත්නම් අප හැම දෙනාම මේ වන විට ජීවතුන් අතර කියලා ඔබ හිතනවද?
නවීන ඔෟෂධ නිසා නොවේ නම් අපි කිසිවෙක් මෙහි නොවන්නට බොහෝ විට ඉඩ තිබෙනවා. ඒ නිසා අප නවීන විද්‍යාව සහ තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. ඒක මඟනොහැරිය යුතු අත්‍යවශ්‍ය දෙයක්.
දියුණු වූ රටවල් හා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින රටවල් දෙස බැලුවහොත් ඔවුන්ගේ දියුණුවේ පදනම පාරම්පරික සංස්කෘතියකින් විද්‍යාත්මක සහ තාක්ෂණික සංස්කෘතියකට ප්‍රවිෂ්ඨ වීම බව ඔබට පෙනේවි.
මේ වන විට අලි බබා සමාගමේත් හුවාවි සමාගමෙත් අති විශාල වර්ධනය පිළිබඳ පසුගිය සතියේ බොහෝ පුවත් වාර්තා කර තිබුණා. මා පසුගියදා හුවාවි සමාගමේ විද්‍යා සහ තාක්ෂණ අංශය නැරඹීමට ෂැංහයි බලා ගියා. ඔවුන්ට ඉදිරි අවුරුදු 10 - 20 පිළිබඳව ඔවුන් දියුණු කිරීමට බලාපොරොත්තු වන අලුත් තාක්ෂණවල පෙරදැක්ම තිබුණා. ඒවා ලෝකයම හොල්ලන තරමේ සිද්ධීන්. විද්‍යාව හා තාක්ෂණය මේ විදියටයි ඉදිරියට යමින් පවතින්නේ.

මේ ක්ෂේත්‍රය කෙරෙහි සංඛ්‍යාත්මක වශයෙන් අප වඩාත් ව්‍යාප්ත විය යුතුයි. විද්‍යාවට නැඹුරු වූ පුද්ගලයන් තවත් බිහි විය යුතුයි. එයින් විද්‍යාවට පමණක් නොවෙයි දේශපාලනයටද සෙතක් වේවි. ඒ හරහා එවැනි දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයන් වැඩි වැඩියෙන් දේශපාලනයට ඇතුළත් වේවි.
මේ නිසා යුගයේ අවශ්‍යතාව මේ රටේ විද්‍යාව සහ තාක්ෂණය ව්‍යාප්ත කිරීමයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්මත කරගෙන ඒවා ප්‍රබලව ක්‍රියාත්මක නොකළහොත් අපට අනාගතයක් ගැන සිතීමත් දුෂ්කරයි.

හර්ෂණී අර්සකුලරත්න