කුඩ්ඩන්ට සපෝට් කරන්න
පොත් මිස් කර සීසීටීවී මැකූ

කටුගස්තොට ‍පොලිසියේ 65කට මාරුවීම්

 මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නඩු පැවරිය හැකිව තිබුණ පොලිසියේ නඩු සටහන් පොතක් හා නඩු භාණ්ඩ කුවිතාන්සි පොතක් අතුරුදන් කර සැකකරුවන්ට නිදැල්ලේ සිටින්නට උදව් කිරීමේ සිද්ධියක් නිසා මහනුවර කටුගස්තොට පොලිසියේ 65 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.
මෙම පොත් දෙක අතුරුදන් කරන අවස්ථාව පොලිසිය අභ්‍යන්තරයේ සීසීටීවී දර්ශන වල පටිගතවී ඇති නමුත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඇරඹෙන බව දැනගෙන
එම ස්ථානාධිපතිවරයාගේ කාමරයේ ආරක්ෂිත තැනක ස්ථානගත කරතිබූ සීසීටීවී දත්ත ගොනුවද කිසියම් නිලධාරියෙකු විසින් මකාදමා තිබී ඇති අතර මේ හේතුවෙන් කිහිපදෙනෙකුට පමණක් වන්දි ගෙවන්නට සිදුවූ වරදට 65 දෙනෙකුම හසුව ඇති අතර ඒ සියල්ලන් මාරු කර යවා තිබේ.


කටුගස්තොට ‍පොලීසියේ සේවය කළ ‍පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු, උප ‍පොලිස් පරීක්ෂකවරුන් හයදෙනකු, ‍පොලිස් සැරයන්වරුන් දාහත්දෙනකු සහ ‍පොලිස් කොස්තාපල්වරුන් තිස්හය දෙනකු මෙන්ම ‍පොලිස් සැරයන් තනතුරේ රියැදුරන් තිදෙනකුද මෙම මාරුවට ලක්වූ අය අතර වෙති.

ස්‌ථාන මාරුවීම් ලද පිරිස අතර දූෂණ මර්දන අංශ ස්‌ථානාධිපතිවරයා හා රථවාහන අංශ ස්‌ථානාධිපතිවරයා ද වෙති.
මෑත ඉතිහාසයේ මහනුවර පොලිස්‌ කොට්‌ඨාසය තුළ එක්‌ පොලිස්‌ ස්‌ථානයක පොලිස්‌ නිලධාරීන් වැඩිම පිරිසක්‌ එකවර මාරු කරන ලද ප්‍රථම අවස්‌ථාව මෙය බව සටහන් වේ.

පසුගියදා මහනුවරදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් තුනක්‌ සමඟ අත්අඩංගුවට ගත් පැණි බීම සමාගමක සේවය කරන සැකකරුවෙකුගේ සිද්ධියක් යටපත් කිරීමට ඔහු මෙහෙයවන මත්කුඩු ජාවාරම්කරුගේ උපදෙස් මත පෙර කී පොත් දෙක අතුරුදන් කර තිබී ඇති අතර අස්ථානගතවී පොත් පිළිබඳ පොලිස් ස්ථානාධිපතිවරයා සිදු කළ පරීක්ෂණ දුරදිග යාමෙන් පසු මෙම විනය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇත.


විනය විරෝධී හේතු සහ එකම ස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කිරීම නිසා මෙම මාරුවීම් දී ඇති බව සඳහන්ය.
ඇතැම් නිලධාරීන් කටුගස්තොට පොලිසිය තුළ වසර 5 කටත් වඩා රැඳී සිට ඇත්තේ විවිධ දේශපාලන හයිකාරකම් උපයෝගයෙනි. කාලයක් තිස්සේ ජාවාරම් කරුවන් ඇසුරු කරමින් කප්පම් ලබාගනිමින් මෙම පිරිස පොලිස් සේවය අවභාවිත කර ඇති බවද පරීක්ෂණවලදී හෙළිව ඇත.
කටුගස්‌තොට පොලිසියේ නිලධාරීන් රැසක්‌ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට හා පැමිණිලි සටහන් කරගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගන්නා බවට චෝදනා ලැබී ඇත.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් තුනක්‌ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධ විස්‌තර හා අත්අඩංගුවට ගත් භාණ්‌ඩ පිළිබඳ තොරතුරු සටහන් කෙරෙන පොලිස්‌ තොරතුරු සටහන් පොතත්, නඩු භාණ්‌ඩ සම්බන්ධ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන බී වාර්තාවත් අස්‌ථානගත කළ පොලිස්‌ සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබෙන බවද වාර්තා වෙයි.