අනුරාධපුරයෙන් වාර්තාවූ අසල්වැසි නිවෙසක ගෙවත්තකින් හොරෙන් අඹ ගෙඩි කැඩීමේ සිද්ධියට අදාළව නඩු භාණ්ඩ වශයෙන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අඹ ගෙඩි දහසයක් මාධ්‍ය හරහා ප්‍රචාරය වන විට එය ගෙඩි තුනක් දක්වා අඩු වූයේ කෙසේද යන්න පිළිබඳ ඒ සම්බන්ධයෙන්
පැවැත්වෙන ඉදිරි නඩු විභාගයේදී

අධිකරණයට අපහාස කිරීම යටතේ අධිකරණයට කරුණු වාර්තා කරන බව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි චූලනී සී. වීරරත්න මහතා 23දා පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී  පැවැසීය.

පොලිස් අධිකාරි චූලනී සී. වීරරත්න මහතා මෙසේද පැවැසීය.
එතැන අඹ ගෙඩි තුනක් නෙවෙයි අඹ ගෙඩි දහසයක්. ඒ සොරකම කළ තැනැත්තිය දිගින් දිගටම ඒ ගමේ සොරකම් කරන තැනැත්තියක් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඒ පිළිබඳ මහජනතාව ප්‍රකාශ ලබාදී තියෙනවා. අඹ ගෙඩි දහසය රාත්‍රි කාලයේදී අල්ලපු නිවෙසින් කඩාගෙන එන කොට තමයි අල්ලාගෙන තියෙන්නේ. මාධ්‍ය එය අඹ ගෙඩි තුනක් ලෙස ප්‍රචාරය කළා. ඇත්තටම ඒක හොරකමක්.

අඹ ගෙඩි තුනක් හොරකම් කළත් අඹ ගෙඩි දහසයක් හොරකම් කළත් අඹ ගෙඩියක් හොරකම් කළත් ඒක හොරකමක්. සොරකමක් පොලිසියට සමථයකට පත් කරන්න බෑ. අනිවාර්යයෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. විශේෂයෙන් සොරකම කියන වගන්තියට අමතරව කෘෂි ද්‍රව්‍ය සොරකම කියලා වෙනම වගන්තියක් තියෙනවා. පොලිසිය එම තැනැත්තියට හොඳින් සැලකුවේ නෑ. රඳවාගෙන සිටියා කියලා ප්‍රචාරය කර තිබුණා.
ඒක විහිළුවක් කළේ මාධ්‍ය හා ෆේස්බුක් අධිකරණයේ නඩු බඩු වශයෙන් අඹ ගෙඩි දහසයක් තියෙනවා. මේක අධිකරණයට අපහාස කිරීමක්. ඊළඟ නඩු දිනයේදී අපි අධිකරණයට ඉදිරිපත් කළ අඹ ගෙඩි දහසය අඹ ගෙඩි තුනක් වුණේ කොහොමද කියලා අධිකරණයට කරුණු වාර්තා කරනවා. ඒ අඹ ගෙඩි තුනක් කියන පුද්ගලයෝ ගෙන්වලා අනිවාර්යෙන්ම අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පවරනවා.
 විශේෂයෙන්ම රජයේ නිලධාරීන්ට, දේශපාලනඥයන්ට, පොලිසියට මඩ ගහන එක පුරුද්දක් වෙලා තියෙනවා. ඒක කොහෙන් හරි නවතින්න ඕන. යම්කිසි පුද්ගලයෙක් සොරකමක් පිළිබඳ පැමිණිල්ලක් දැම්මොත් ඒ පුද්ගලයා පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නේ නැත්නම් සොරකම කියන දේ පොලිසියට සමථයකට පත් කරන්න බෑ.

අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය /මහේෂ් විජේසූරිය