ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දියණිය , චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචනා කළ "ජනාධිපති තාත්තා" ග්‍රන්ථය පිටවී ටික වේලාවකින් ඇතැම් වෙබ් අඩවි ඔස්සේ පළවී තිබුණ ආරංචියක් සමාජ මාධ්‍ය තුළද
ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබුණ අතර එයින් කියැවුනේ එම කෘතිය චතුරිකා සිරිසේන රචනා නොකළ බවත් රුපියල් ලක්ෂ 25 ක කොන්ත්‍රාත්තුවකට ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක විසින් රචනා කර ඇති එකක් බවත්ය.
එම මුදල නොගෙවීම නිසා සුනිල් මාධව මහතා

කළකිරීමට පත්ව ඇතැයිද එම වාර්තාවල දැක්වුණි.
මින් ඉහත ලංකාවේ සිටි ඇතැම් නායකයින්ගේ චරිතාපදාන වෙන අය ලවා මුදලට ලියවාගෙන පළ කිරීමේ සම්ප්‍රදායක් ප්‍රකටව පැවති නිසා මෙම කතාවද බොහෝ අයට විශ්වාස කරන්නට කරුණු යෙදී තිබුණි.
කෙසේ වෙතත් මේ පිළිබඳ මේ වනවිට ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මාධ්‍ය අමතා කරුණු පැහැදිලි කර තිබේ.
කලෙක සිටම අයහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන ඔහු පවසා ඇත්තේ මෙම කතාව මුළුමනින් අසත්‍යයක් බවයි. තමන් හා "ජනාධිපති තාත්තා" ග්‍රන්ථයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවද , මෙම ප්‍රචාර තමන්ගේ චරිතයට මඩ ගැසීමේ අරමුණින් කිසිවෙකු හෝ විසින් ගෙතූ කතාවක් බවද ඔහු පවසා ඇත.