පළාත් සභා ඡන්ද කල්දාලා
ජනතාවගේ මූලික අයිතිය උල්ලංඝනය කරලා
-හිටපු අගවිනිසුරු නඩු මගට

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට කරුණු ගොනු කළේය.
එහි සඳහන් වන්නේ පසුගියදා සම්මත කළ පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඇති බවත් ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන
වගන්ති රහසේ ඇතුළත් කර ඇති බවත්ය.

එලෙස එය සම්මත කිරීම මෙන්ම රජය පළාත් සභා මැතිවරණ කල්දැමීම මගින් තමාගෙත් රටේත් මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව හිටපු අගවිනිසුරු දන්වා ඇත.

ඔහුගේ ඉල්ලීමක් වන්නේ පැවති පනත යටතේම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසයි.
පළාත් සභා ඡන්ද පනත් කෙටුම්පතේ තිබූණ සියයට 30 කාන්තා නියෝජන වගන්ති පාර්ලිමේන්තුවේ විවාදයේදී තිබුණ නමුත් ඒවා කාරක සභා අවස්ථාවේදී අතුරුදන් කර වෙනත් වගන්ති කිහිපයක් ඇතුළු කර ඇතැයි හිටපු අගවිනිසුරු දන්වා ඇත.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 77 වගන්තිය අනුව නිසි කාලයේදී පළාත් සභා ඡන්ද නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් නීතිපතිවරයා සිය බලඅධිකාරිය ඉක්මවා මීට අනුබලදී ඇති බවත් සරත් එන් සිල්වා මහතා පෙන්වා දී තිබේ.
මෙම පෙත්සම සලකා බැලීම හෝ නොබැලීම තවම සිදුව නැති අතර එය සලකා බැලුවහොත් අලුතින් සම්මතවූ ආකාරයට පළාත්සභා මැතිවරණය පවත්වන්නට රජයට බැරිව යනු ඇත.