දඹුල්ලේදී පොලුවලින් පහරදී
සංක්‍රාන්ති ලිංගිකයා මරා දමා ඇත්තේ

අසම්මත ඇසුරක් පැවැත්වූ වෙළෙඳසල් සේවකයෙක්



පසුගිය 5දා දඹුල්ල නගර මධ්‍යයේදී පොලුවලින් පහරදී සංක්‍රාන්ති ලිංගික තරුණයකු ඝාතනය කළ බව කියන සිද්ධිය බොහෝ මාධ්‍ය තුළ අමුතු ලෙස කථාබහට ලක් විය.
මෙම පුද්ගලයා මරා දමන්නට හේතුවක් මුලදී පැහැදිලි ලෙස වාර්තා නොවූ අතර සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවධාන එම පුවත් වාර්තාව ගැන විවේචන පවා එල්ල කර තිබුණි.
පොලිසය සිදු කළ පරීක්ෂණ වලදී සිද්ධියට සැකපිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසලක සේවය කරමින් සිටි සේවකයෙකු
අත්අඩංගුවට ගත් බව

දඹුල්ල පොලිසිය වාර්තා කර තිබේ.
සිද්ධිය වූ ස්ථානයේ තිබී සොයාගත් අත් ඔරලෝසුව සහිත ජංගම දුරකතනය ඔස්සේ සිදුකළ පරීක්ෂණයකදී එවැනි ඔරලෝසුවක් ඇතිඑම කලාපයේ සිටි එකම පුද්ගලයා ලෙස අදාළ සේවකයා සැකයට භාජනය වූ අතර ඒ ගැන වැඩිදුරටත් කළ පරීක්ෂණ වලදී සේවකයා කොටුවී තිබේ.
මෙසේ ඝාතනය වූයේ දඹුල්ල වල්ගම්වැව පදිංචි එම්. ජී. සනත් කුමාර (34) නමැති අයෙකි.
දඹුල්ල නගරයේ කුලී රථ නැවතුම් පළේදී පහරදීමකින් ඔහු මියයන විට කාන්තා ඇඳුම්වලින් සැරසී සිටි බව පරීක්ෂණවලදී හෙළි විය.
ඝාතනය සඳහා සැකපිට අත්අඩංගුවට පත් වෙළෙඳසල් සේවකයා 37 හැවිරිදි වියේ පසුවූ අතර ඔහුත් මියගිය අයත් අතර කාලයක් තිස්සේ ලිංගික ඇසුරක් පැවතී තිබෙන බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. මේ දෙදෙනා අතර මුදල් ආරවුලක් සම්බන්ධ ගැටලුවක් දුරදිගයාමෙන් ඇතිවූ කෝපය මත පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සිදුව ඇත.
දින ගණනාවකට පෙර ඔහු සතුව තිබූ රුපියල් 35,000ක මුදලක් සොරා ගැනීම මේ පහරදීමට මුල් වී වූ බව ප්‍රශ්න කිරීම්වලින් පසුව සේවකයා පිළිගෙන තිබේ.
පසුගිය 5දා දඹුල්ල නගරයේදී රාත්‍රි කාලයේ මෙම පුද්ගලයා හමුවූ අවස්තාවේ පහරදීම

සිදුකළ බව සැකකරු පාපෝච්චාරණය කොට තිබේ.
මෙම පුද්ගලයා වැලිමඩ, සිල්වියපුර පදිංචිකරුවකු බවත් අකුරණ ප්‍රදේශයේ කාන්තාවක සමඟ තාවකාලිකව පදිංචි වී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සලක කම්කරුවකු ලෙස සේවය කර තිබෙන අතරවාරයේ මියගිය අය සමග අසම්මත ඇසුර පවත්වාගෙන ගොස් ඇත.
සැකකරු මේ තරුණයා ඝාතනය කළාට පසුව තරුණයාගේ ජංගම දුරකතනයද ලබාගෙන ඉන් ඔහුගේ සහෝදරියට ඇමතුමක් ලබාගෙන බැණ වැදුණ කතාවක්ද පොලිසියට පවසා තිබේ. පසුව එම ජංගම දුරකතනයෙන්ම සිය පෙම්වතියට ඇමැතුමක් ලබාදී අලුයම අකුරණ ගොස් පසුදා දඹුල්ලේ සේවයට පැමිණ සිටියදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.