සිල් රෙදි නඩුවෙන් සිරගත කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට මහත්වරුන් ගෙවිය යුතු දඩ හා වන්දි මුදල් සොයා ගැනීම සඳහා ලබන 15 වැනිදා උදැසන මහා සංඝරත්නය පිඬු සිඟා වඩින බව
ඊයේ (11 දා) සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ

පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස නාහිමියෝ පැවැසූහ.
සිල්රෙදි සිරකරුවන් සුරැකීමේ අරමුදල නමින් අරමුදලක්‌ පිහිටුවූ බවද මේ සඳහා දායක වීමට විපක්‍ෂයේ පොදු දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්, බෞද්ධ සංවිධාන රැසක්‌ ඉදිරිපත් වී ඇති බවද උන්වහන්සේ පැවැසූහ.
රාජ්‍ය දේපළ නූල් පොටක්‌ හෝ සොරකම් නොකළ අහිංසක නිලධාරීන් වෙනුවෙන් මුළු මහත් රටම එක්‌වනු ඇති බවද කෙසේ හෝ මෙම මුදල් සොයා ගැනීමට කටයුතු කරන බවද උන්වහන්සේ පැවැසූහ.
18 වැනිදා උදැසන මහා සංඝරත්නය කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය අසල සිට විරෝධතා චාරිකාවේ යෙදුණ බවද රට පුරා විහාරස්‌ථානවල ආධාර ලබා ගැනීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද උන්වහන්සේ පැවැසූහ.
දඩ මුදල් හා වන්දි මුදල් සඳහා රුපියල් ලක්‍ෂ 1040 ක්‌ අවශ්‍ය යෑයිද රටේ ජනතාව ඒ සඳහා සහාය ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.