මට හිමි තැන කාලය හා ඉතිහාසය ඉදිරියේ තීරණය කරාවි
රවි කරුණානායක ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්වේ (video)


අද දින පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමති රවී කරුණානායක ඉල්ලා අස්වුණා.
ඔහුගේ ප්‍රකාශය පහත පරිදිය.

‘මං මේ ගැන පැහැදිලි කරන්න කැමතියි. අපේ පවුලේ අය බත්තරමුල්ල නිවසේ අලුත්වැඩියාවක් නිසා නිවසක් සෙව්වා. පසුව නහිල් විජේසූරියගේ දුවගේ නිවසක් විකුණන්න තිබෙන බව දැනගෙන ඒ ගැන සොයා බැලුවා. ඇය දේශපාලකයෙකුට සෘජුව ලබාදෙන්නට අකමැතිවූ නිසා ඒ සඳහා ඇගේ මිතුරියක වූ මගේ දුවත් ඔවුනගේ පාසල් මිතුරෙකු වන අර්ජුන් ඇලෝසියසුත් කතා කර
ඇලෝසියස්ගේ නමට එය මිලට ගත්තා. පසුව සෙලාන් බැංකුවේ ණයක් ලබාගෙන එම නිවස මම හිමි කරගත්තා.මේ සමග එම ණය පිළිබඳ දත්ත ඉදිරිපත් කරනවා.
මං දේශපාලනයෙන් මුදල් හම්බ කර නෑ. මගේ නිවසට ආපු අය මගේ වත්කම දන්නවා. මින් පෙර මේ වගේ දේශපාලනඥයින් ගැන කරුණු අනාවරණය වෙන පරිසරයක් රටේ තිබුනේ නෑ. නමුත් මෙහෙම මට ඇවිල්ල කතාකරන්න වෙන

තරමට විනිවිදභාවයක් අපේ රජය ඇති කළා.
මෙම ප්‍රශ්නයේදී අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කටයුතු කළ ආකාරය කිසියම් උසස් වීමක් බලාපොරොත්තුවෙන් කළ එකක් බව පැහැදිලියි. ඔහු විමසා සිටි ආකාරයේ ආවේග ශීලි  ආකාරය ගැනත් ප්‍රශ්න තිබෙනවා.
බැඳුම්කර කොමිසම සොයා බලන්න තියෙන්නේ එම වංචාව ගැනයි. නමුත් මගේ නිවසක් ගැන ආන්දෝලනයක් ඇති කරන්න චෝදනා වෙනුවෙන් තමයි මේවා ගෙන එන්නේ.
මින් ඉහතත් මට චෝදනා එල්ල කරා. මට දේශපාලන පලිගැනීම් තිබුණත් නඩු වලින් මං නිදහස් වුණා. අංශභාගේ සිටි මගේ අම්මට එදා මිනී ඔලු පවා එවුවා. ඒත් මං බය වුනේ නෑ. පක්ෂ මාරු කළේ නෑ. පක්ෂය වෙනුවෙන් දිගටම සිටියා.මං පුද්ගලිකත්වය ගැන සිතුවෙ නෑ. රට ගැන සිතුවා. 2015 වෙනස වෙනුවෙනුත් මං විශාල වැඩ කොටසක් කරා.
මම මගේ අමාත්‍ය ධූරය පාවිච්චි කළේ ජනතාවට සේවය කරන්න. රට වෙනුවෙන් සේවය කරන්න. මගේ දුරකථනය පවා පැය 24ම ජනතාව වෙනුවෙන් තිබුණා.
මේ බලය තාවකාලිකයි. සදාකාලික අපේ අවංක භවයි. සමහරු බලය තනතුරු සදාකාලික බව සිතාගෙන බලයෙන් පසුවත් සිහින මවනවා. තමන්ට බලය ලබාගන්න රටට හෙණ ගැහුවත් ඔවුනට කමක් නෑ.

මට එල්ලවූ චෝදනා පදනමක් නෑ. නමුත් සමහරු පසුගිය දින 10-12 මට විවිධ චෝදනා එල්ල කළා. ඔවුන් මා කුරුසියට තබා  ඇණ ගහන්න කටයුතු කරනවා. මේ වැනි අභියෝග බුදුන්ට ජේසුන්ට පවා චෝදනා තිබුණා. මං සැලෙන්නෙ නෑ. නමුත් මගේ චෝදනා මුල් කර යහපාලන රජය අපහසුතාවයට ලක්කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව මං දන්නවා.
මේ බලලෝභී අවස්තාවේ මං එජාපය විනාශ කරන්න දෙන්නේ නෑ.
මං ජනපති අගමැතිගේ ප්‍රජාතන්ත්‍රවාදී වෑයමට ඉඩ දෙනවා.
මුළු රටටම ආදර්ශයක් දෙමින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරනවා.
ඉතිහාසය සහ කාලය මට හිමි තැන ලබාදේවී.
කොතලාවල,ජේ ආර් ලලිත් ඇතුළත්මුදලි හැමටම මේ චෝදනා ආවා. නමුත් ඉතිහාසය හා කාලය නිසි තැන ඔවුනට දුන්නා.
මගේ අරමුණ දිගින් දිගටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා.
මං ඉල්ලා අස්වීමේ තීරණය ගන්නේ දුකින් හෝ කම්පාවෙන් නොවෙයි. ආඩම්බරයෙන්.මේ තනතුර කැප කරන්නේ ශ්‍රී ලංකාවේ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් නිසා ආඩම්බර වෙනවා.
මගේ බිරියගේත් දරුවන්ගේත් චරිත ඝාතනය කිරීමට ඇතැම් මාධ්‍ය ක්‍රියා කරනවා.ඒ සියල්ල මැද ඔවුන් මට ශක්තියක් වුණා.මෙලා ඔනෙලා මම ඔබ දෙදෙනාටම හැමදාමත් ආදරෙයි.
මං මෙතැන් සිට පසුපෙළ මන්ත්‍රී කෙනෙකු ලෙස කටයුතු කරනවා.‘