අබිරහස් ලෙස ගෙළ වැළලී මියගිය
බිරියගේ මරණය ගැන නාද්දි හොරෙන් බලා අසුවූ අල්ලපු නිවසේ
ග්‍රාම සේවක සැකකරන බව සැමියා කියයි



'අසනීප නිසා වැඩට නොගිහින් ගෙදර නැවතුණු මගේ බිරිය අබිරහස් ලෙස මිය ගිහින් දැන් මාස තුනක් ඉවර වෙන්න ආවා. අල්ලපු නිවසේ ග්‍රාම සේවක බිරිය තනියම සිටි වෙලාවෙ හොරෙන් බලල අහුවුනා. බිරිය එල්ලිලා මැරෙද්දි කලිසම ඉරිලා තිබුණා.එත් පොලිසිය මාව විතරයි සැක කරන්නේ..‘
යයි පසුගිය මැයි 29 දින ගෙල වැලලාගෙන මියගොස් සිටි මහීකා සචින්දනී ගුණතිලක මහත්මියගේ සැමියා
වන සරවනරාජා තවයෝගන් මහතා දන්වා සිටී.
කොළඹ පාර, හපුතලේ  පදිංචි සරවනරාජා තවයෝගන් (23) සහ වල්පොළ, ගොකරැල්ල පදිංචි මහීකා සචින්දනී (19) දෙදෙනා ප්‍රේම සම්බන්ධයක් මත විවාහ වූයේ පසුගිය මාර්තු 14 දිනය. ඔවුන් එසේ විවාහ වී ඇත්තේ මහීකාගේ මවුපියන්ගේ
දැඩි විරෝධය මධ්‍යයේය.
විවාහ වීමෙන් අනතුරුව දෙදෙනා පන්නල පොලිස් වසමට අයත් එළිවිල ගෝනවිල ප්‍රදේශයේ කුඩා කාමරයක් කුලියට ගෙන එහි නවාතැන් ගත්තේ පන්නල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික ඇඟලුම් නිෂ්පාදන ආයතනයක රැකියාවට යමින් නව දිවියක් ආරම්භ කිරීමේ අරමුණිනි.
නමුත් ඔවුන්ගේ විවාහ දිවියට මාස තුනක් සපිරෙන්නට පෙර එනම් 2017 මාර්තු 29 දින මහීකා තමන් සැමියා සමඟ පදිංචිව සිටි නිවෙසේ කාමරයක අබිරහස් අයුරින් ගෙල වැලලාගෙන මියගොස් සිටියාය.

මහීකා මෙසේ හදිසියේ ගෙල වැලලාගෙන මියගියේ මන්ද යන්න සරවනරාජාට මෙන්ම මහීකාගේ මවුපියන්ටද ඉමහත් ගැටලුවක් වන අතර පන්නල පොලිසිය මඟින් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ ආරම්භ කළ නමුත් එම පරීක්ෂණය මේ වන විට ඉතාමත් මන්දගාමී බවට සරවනරාජා චෝදනා කරයි.

තම ආදරණීය බිරියගේ මෙම හදිසි මරණය සම්බන්ධයෙන් 'මව්බිම'ට අදහස් දක්වමින් මහීකාගේ සැමියා වන සරවනරාජා තවයෝගන් මහතා මෙසේද කීය.
'අපි දෙන්නා කසාද බැන්දේ ආදර සම්බන්ධතාවක් මතයි. බැන්දට පස්සේ අපි දෙන්නම පන්නල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරමින් සතුටින් ජීවත් වුණා. මේ මාස දෙකක කාලයට අපි දෙන්නා කවදාවත් රණ්ඩු වෙලා තරහා වෙලා නැහැ. කොටින්ම මහීකා මට කතා කළේ තාත්ති කියලා. මම එයාට කතා කළේ අම්මි කියලා. ඒ තරම් ආදරෙන් අපි හිටියේ.'

'ඒ අවාසනාවන්ත සිද්ධිය වෙච්ච මැයි 29 වැනිදා උදේ අපි දෙන්නම වැඩට යන්න ලෑස්ති වුණා. මඟට යනකොට මහීකා කීවා අනේ තාත්ති මගේ ඇඟට අමාරුයි අද නම් මට යන්න බෑ කියලා. අපිට ආයතනයෙන් මාසෙකට සැරයක් පැමිණීමේ දීමනාවක් ගෙවනවා. ඒ දීමනාව සම්පූර්ණ වෙන්න තිබුණේ දවස් දෙකයි. ඒ නිසා මම කීවා අම්මි පැමිණීමේ දීමනාව කපා ගන්න වෙනවනේ. ඒ හින්දා අද යමු කියලා. ඒත් එයා අමාරුයි කියලා යන්න බෑම කීවා. එයා මට කීවා අපේ අම්මට අසනීප වෙලා හදිසියේ අම්ම බලන්න ගියා කියලා වැඩපළට කියන්න කියලා. ඉතින් මම එයාට කීවා එහෙනම් ආපසු ගෙදර ගිහින් නිදා ගන්න කියලා. මහීකා ආපසු ගෙදර ගියා. මම වැඩපළට ගියා.'
'අපි කුලියට නැවතිලා ඉන්න කාමරේ අයිති අක්ක වැඩ කරන්නෙත් අපි වැඩ කරන ෆැක්ටරියෙමයි. එයා එදා දවල් 12ට ඕෆ් වෙනවා. මේ එයාට කීවා අක්කේ මහීකා අසනීප නිසා ගෙදර නැවතුණා. ඔයා ගෙදර ගියාම ටිකක් බලන්න කියලා. එයා කීවා හා කියලා.'

'පස්සේ දවල් වෙනකොට මට දැන් වෙලාව හරියටම මතක නෑ. 2.00ට විතර ඇති. ෆැක්ටරියේ ඔෆීස් එකෙන් මට එන්න කියලා පණිවුඩයක් ආවා. මම ඔෆීස් එකට ගියාම ඔෆිස් එකේ අය කීවා සරනවරාජා අපිත් එක්ක ගමනක් යමු කියලා.
එහෙම කියලා වාහනේක මාව දාගෙන ආවේ අපි ඉන්න ගෙදරට.'
'ගෙදර වටේ සෙනඟ හිටියා. පන්නල පොලිසියෙන් ඇවිත් හිටියා. එතකොටයි මම දන්නේ මගේ රත්තරන් අම්මි මාව දාලා සදහටම ගිහිල්ලා කියලා. එයා අපි නිදාගන්න කාමරේ එල්ලිලා හිටියා. මට ඒ වෙලාවේ මොනව වුණාද කියලා හිතාගන්න බැරි වුණා.'

'පන්නල පොලිසියෙන් ඒ වෙලාවේ මට සැලැකුවේ හරිම නරක විදියට. මහීකාගේ සිරුර බිමට බාන්න කීවේ මට. මම එයාව බිමට බානකොට දැක්කා උදේ වැඩට යන්න ඇදගත්ත ඇඳුමින් එයා හිටියේ. එයා ඇදගෙන හිටිය ඩෙනිම් කලිසම ඉරිලා තිබුණා. මම ඒ ගැන පොලිසියට කීවත් ගණන් ගත්තේ නෑ.'
'මම පොලිසියට කීවා මහීකාගේ මරණය මට සැකයි කියලා. ඒත් පොලිසිය කෙළින්ම මගෙන් ඇහුවේ උඹට වෙන හොර ගෑනියක් ඉන්නව නේද? ඒ හින්දා නේද මෙයා එල්ලිලා මැරුණේ කියලා. ඇත්තටම මට එහෙම සම්බන්ධයක් තිබුණේ නෑ. මම මගේ පණටත් වඩා මහීකට ආදරේ කළා. මම පොලිසියට කීවා මට හොර ගෑනියෙක් නෑ ඉන්නවා නම් හොයලා මගේ ඉස්සරහට ගෙන්න කියලා.'

'අපි ඉන්න කාමරේට එහා පැත්තේ පදිංචි වෙලා ඉන්නේ ග්‍රාම නිලධාරි කෙනෙක්. එයා අපේ පෞද්ගලික ජීවිතේට ප්‍රශ්න ඇති කරපු කෙනෙක්. දවස් දෙක තුනක් මහීකා නාන වෙලාවට හොරෙන් බලාගෙන ඉඳලා අපිට අහුවෙලා තියෙනවා. ඒ ගැන කතා කරන්න ගිහින් එයා කීප සැරයක් මමයි මහීකයි එක්ක රණ්ඩු වෙලා තියෙනවා. මහීකා ආපසු ගෙදර ආපු වෙලාවේ අවට ගොඩක් පාළුයි. අනෙක එයා කාමරේ හිටියෙත් තනිවම.'

'මම මේ කාරණේ පොලිසියට කීවා. පොලිසිය ඒ ගැන නිකමට වත් තැකීමක් කළේ නෑ. එහෙම තියෙද්දීත් පොලිසිය කෙළින්ම ගියේ ඒ ගෙදරට. මහීකගේ සිරුර අරන් ගියෙත් ඒ ගෙදරට. මූලික පරීක්ෂණ පැවැත්තුවෙත් ඒ ගෙදර. එදා රෑ ග්‍රාම සේවකගේ ගෙදර කවුද කට්ටියක් අරක්කු බීලත් තිබුණා. නමුත් හැම වෙලාවෙම පොලිසිය කෙළින්ම චෝදනා කළේ මට. උඹ තමයි මේ මරණෙට වගකියන්න ඕන කියලා චෝදනා කළා. ඒ වෙලාවේ මම කොයි තරම් අසරණ වුණාද කියලා වචනවලින් කියන්න බෑ.'

'දැන් මහීකා මිය ගිහින් මාස තුනක් ඉවර වෙන්න ආවා. එදා එයා මියගිය වෙලාවේ කරපු පරීක්ෂණය ඇර වෙන කිසිම පරීක්ෂණයක් පොලිසියෙන් මේ වෙනකම් කරලා නෑ. පොලිසිය මහීකාගේ මරණය මගේ පිටින් ගහන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කළේ. 'ඒත් මම හොඳින්ම දන්නවා අපි දෙන්න අතරේ ප්‍රශ්න තිබුණේ නෑ. ඒ නිසා මේ මරණය මට ගොඩක් සැකයි. නමුත් පොලිසියට ඇත්ත හොයන්න කිසිම වුවමනාවක් නෑ. මම මේක අද විසඳෙයි හෙට විසඳෙයි කියලා බලාගෙන ඉන්නවා. මම කියන්නේ මෙච්චරයි. පොලිසියෙන් කියනවා නම් මගේ වෙන සම්බන්ධයක් නිසා මහීකා මිය ගියා කියලා මොකක්ද ඒ සම්බන්ධ කියලා හොයලා පෙන්නන්න. මේ මරණෙට වගකියන්න ඕන මම නම් මට විරුද්ධව චෝදනා ඔප්පු කරලා මාව හිරේ යවන්න. ඒත් පොලිසිය ඒ මොකුත් නොකර නිශ්ශබ්දව ඉන්නවා‘


කුරුණෑගල - සම්පත් සෙනවිරත්න