සැමියාට මත්වීම සඳහා අවශ්‍ය ගංජා වගා කර ඊට සාත්තු කළ ගෙවිලියක කහටගස්දිගිලිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් අඩි හතක් උසට හොඳින් වැඩුණු ගංජා පැළයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
කහටගස්දිගිලිය පොලිස් වසමේ කෝන්වැව මාර්ගයේ පදිංචි ගෙවිලියක් සැමියාට ගංජා සුරුට්ටු ඉරීම සඳහා
ගංජා වවන බවට ලැබුණු තොරතුරක්
මත නිවෙස වටලා ගංජා පැළය සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකාරියගේ නිවෙස පිටුපස පිහිටි ජල කරාමය ආසන්නයේ ගංජා පැළය වවා තිබූ බවත් එය අඩි හතයි අඟල් හතක් පමණ උසට වැඩී තිබූ බවත් පොලිසිය පැවැසුවේය.

ගංජා සුරුට්ටු ඉරීමට තදින්ම ඇබ්බැහි වී සිටින සැමියා අවස්ථා දෙකකදී පොලිස් අත්අඩංගුවට පත්වී අධිකරණයට ඉදිරිපත් කළ අයකු බව පොලිසිය පැවැසුවේය.
අත්අඩංගුවට ගත් ගංජා පැළයේ කිලෝග්‍රෑම් එකක පමණ බරින් යුතු ගංජා දලු සහ කොළ තිබූ බවත් එය වියළුණු පසුව ග්‍රෑම් 250ක් පමණ වන බවත් පොලිසිය පැවැසුවේය. පනස් හැවිරිදි දෙදරු මවක් වන ගෙවිලිය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වරද පිළිගත් අතර ඇයට දඬුවම් නියම කිරීම සැප්තැම්බර් මස 17 වැනිදාට කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.

කහටගස්දිලිගිය පොලිසිය සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය