දැනට පදිංචිව සිටින
කොල්ලුපිටියේ ගෙවල් දෙක
ගත්ත හැටි ගැන රවී දන්නෑ කියූ හැටි


ඇමති රවී කරුණානායක මුදල් ඇමතිව සිටි කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුවෙන් පසු සංතෝෂමක් ලෙස අර්ජුන් ඇලෝසියස් විසින් කොල්ලුපිටියේ සුඛෝපබෝගී මහල් නිවාස ඒකක දෙකක් ඔහු වෙත මිලට ගෙන ලබාදීම පසුගිය සතියේ ආන්දෝලනයක් ඇති කළ පුවතක් විය.
රටේ ඉහළම පෙළේ ඇමතිවරයෙකු කරන ලද උදව්වකට අල්ලස් ලබාගැනීමක් බඳු මෙම කාරණාව නිසා රවි කරුණානායක ගැන බොහෝ අයට විවේචන ඇති විය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය ඔහුගෙන් ප්‍රශ්න කරද්දී තමා නිර්දෝෂී බවත් එය කොමිසම හමුවේ කියන උත්තර වලින් ඔප්පු කරන බවත්
දන්වා තිබුණි.
ඒ නමුත් ඊයේ (2) ඔහු බැඳුම්කර කොමිසම හමුවේ මේ ගැන කියා සිටි පිලිතුර එම විවේචන නිවැරදි කරන්නට සමත් වූ එකක් නොව මගහැරයාමේ පිළිතුරක් පමණක් බව පෙනී යයි.
 අති සුඛෝපභෝගී මහල් නිවාස යුගලය පිළිබඳව  විමසීමේදී කරුණානායක ඇමැතිවරයා මුලදීම කියා සිටියේ කොමිසම හමුවේ ප්‍රකාශ වී ඇති තොරතුරු අසත්‍ය ඒවා බවත් එම නිවෙස තම බිරිය හා දියණිය විසින් ඔවුන්ගේ මුදල් යොදවා මුලදී බදු කුලියට ලබාගෙන පසුව මිලදී ගත් බවය.

එහෙත් බදු ගිවිසුම, විකුණුම් ගිවිසුම හා අදාළ විකුණුම් ඔප්පුවද ඇතුළු සියලු ලේඛනද මුදල් ගෙවීම් පිළිබඳව අදාළ සියලු තොරතුරුද බැංකු ප්‍රකාශනද ඉදිරිපත් කරමින් දප්පුල ද ලිවේරා මහතා කරුණු විමසීමේදී ඇමැතිවරයා නිරුත්තර විය.
මඳ වේලාවක් සිට ඊළඟට ඔහු කියා සිටියේ බිරිය හෝ දියණිය එවැන්නක් තමාට නොපැවසූ බැවින් තමා මේ මොහොත වනතුරුත් දැන නොසිටි බවය.
එතෙක් මෙතෙක් මෙතරම් දීර්ඝ කාලයක් එම නිවාස ඒකකයේද පදිංචිව සිටින තමා හා බිරියත් දියණියත් අතර මෙම කරුණු අනාවරණය නොවී සිටියා යැයි කියන ප්‍රකාශය කොතරම් දුරට කෙනකුට පිළිගත හැකි එකක්ද යන්න ඇසුවීට ඇමැතිවරයා නිහඬව උත්තර නොදී සිට ඇත.

කොල්ලුපිටියේ මොනෑක්‌ රෙසිඩන්සීස්‌ හි සුපිරි මහල් නිවස බදු ගැනීමට හෝ එය පසුව මිලදී ගැනීමට තමා සම්බන්ධ වූයේ නැති බවත් එය තම පවුලේ අය විසින් සිදුකරන ලද්දක්‌ බවත් ඔහු එම අවස්ථාවේ පැවසුවේය.


වෝල්ට්‌ ඇන්ඩ් රෝ පුද්ගලික සමාගම එම සුපිරි නිවස බදු ගැනීමට ගිවිසුමකට එළඹ ඇති බව තමා දැනගත්තේ පසුව බව ද එම නිවස පසුව තමා ආරම්භ කළ ග්ලෝබල් ලොජිස්‌ටික්‌ස්‌ සමාගමින් මිලදී ගත් බව ද ඔහු පිළිගත්තේය.
එය තම පවුලේ සමාගමක්‌ වුවත් තම පවුලේ සාමාජිකයන් සමඟ එහි පදිංචි වී සිටියත් එහි බදු ගිවිසුම තමා දැක්‌කේ නැති බව  ඔහු කීවේය.
කෙසේ නමුත් මේ නිවාස ඒකකය ෂනිකා විඡේසූරිය මෙනවියගෙන් වෝල්ට්‌ ඇන්ඩ් රෝ සමාගම බදු ගත් එකක්‌ බව තමා නොදන්නා බව ද රවි කරුණානායක මහතා කීවේය. එය පවුලේ අය විසින් සිදුකළ නිසා අයිතියට අදාළ ඔප්පුව පවා තමා දැනසිටියේ නැති බව ඔහු කීවේය.
අර්ජුන් ඇලෝෂියස්‌ පාලනය කරන වෝල්ට්‌ ඇන්ඩ් රෝ සමාගම එම නිවාස වෙනුවෙන්  ගෙවා තිබෙන මසකට මිලියන 1.45 ක බදු මුදල ගෙවන බව තමා දන්නවා දැයි ඇසූ විට කරුණානායක මහතා කීවේ එය පවුලේ අය විසින් නැවත ගෙවා දමන ලද බවයි.