බැඳුම්කර වෙන්දේසියෙන් පසු
අර්ජුන්ගේ බෑනා ඇමති රවීට
අතිසුඛෝපභෝගී නිවාස දෙකක් අරන් දීලා



අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධවූ ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වෙන්දේසියෙන් පසු එවක මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක වෙනුවෙන් ඔහුගේ බිරියට මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් විසින් පදිංචිය සඳහා ගෝල්ෆේස් හෝටලය ඉදිරිපිට අතිසුඛෝපභෝගී නිවාස ඒකක දෙකක් රුපියල් ලක්ෂ 73කට බද්දට
මිලට ගෙන දුන් බවත්,
බද්ද අවසානයේ එය ඔවුන් රුපියල් කෝටි 16.5කට (ලක්ෂ 1650කට) මිලදී ගත් බවත් ඊයේ (24) මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අදාළ ලිපි ලේඛන සමඟ එම ගොඩනැගිල්ලේ හිමිකාරිය අනාවරණය කරනු ලැබුවාය.
කොළඹ 03, මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි එම අතිසුඛෝපභෝගී නිවාස සමාගමේ අධ්‍යක්ෂිකා අනිතා විජේසූරිය මෙනෙවිය මෙම කරුණු හෙළි කරන්නට පෙර අදාළ ගිවිසුම් විනාශ කරන්නට ඇලෝසියස් උපදෙස් දුන්නත් තමා එය නොකළ බවද ඇය කියා තිබේ.
තමා හමුවීමට පළමුවෙන්ම පැමිණියේ රවි කරුණානායක බිරිය මෙලරීන් විරන්ති කරුණානායක බවත්, ඇය විසින් දෙන ලද දුරකතන ඇමතුම පරිදි අර්ජුන් ජෝසප් ඇලෝසියස් පැමිණ තමා සමඟ මෙම ගනුදෙනුව ගැන කතා කරගත් බවත් පසුව බිරිය හා දියණිය  එහි පදිංචියට පැමිණි බවත් බදු කාලසීමාව වූ මාස 06 ගත වෙද්දී තවත් අමතර මාස දෙකකට කල් ලබා ගත් බවත් ඇය කියා තිබෙයි.
එකී කාලය නිමවීමට පෙර රවි කරුණානායකගේ සමාගමක් වන ග්ලෝබල් ට්‍රාන්ස්පෝටේෂන් හා ලොජිස්ටික් පෞද්ගලික සමාගම විසින් එම අතිසුඛෝපභෝගී නිවාස ඒකක දෙක රුපියල් මිලියන 165ක් හෙවත් රුපියල් ලක්ෂ 1650කට තමාගෙන් මිලදී ගත් බවත් ඇය අදාළ ඔප්පු හා අනෙකුත් ලියකියවිලිද ඉදිරිපත් කරමින් කොමිසම හමුවේ තහවුරු කර තිබේ.