විනිසුරුට වෙඩි තැබීම 
‘අහක යන කේස් එකක්‘
වෙඩි තැබූ අය බීමත් කලහකරුවන්

පෙරේදා සවස යාපනය නල්ලූර් ප්‍රදේශයේදී මහධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයෙකුට මරු කැඳවමින් එල්ලවූ ප්‍රහාරය විද්‍යා ඝාතන නඩුවේ විනිසුරුට සිදු කළ තර්ජනයක් ලෙස පළවූ වාර්තා බොරු කරමින් එම විනිසුරු ඉලක්ක කර එල්ල කරන ලද්දක් නොවන බව මේ වනවිට පොලිසිය තහවුරු කරගෙන තිබේ.
විනිසුරුගේ රථය සමග පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක්අයෙකු
වාහනයේ සිටි අතර

අනෙක් නිලධාරියා යතුරු පැදියකින් ගමන් කරද්දී සිද්ධිය වූ ස්ථානයේ රථවාහන තදබදයක් තිබී ඇත. එයට හේතුවී ඇත්තේ ආසන්නයේ පිහිටි ත්‍රීරෝද රථ ගාලේ පිරිසක් සමග බීමත් පුද්ගලයින් තිදෙනෙකු ඇති කරගනිමින් පැවති රණ්ඩුවකි.

මෙම රණ්ඩුව නිසා වාහන ධාවනය අවහිරවීම ගැන මියගිය පොලිස් සැරයන්වරයා සොයා බලා තිබේ. ඔහු විනිසුරුගේ වාහනයට ඉක්මණින් යාමට ඉඩ ලබාගැනීමට අවශ්‍ය නිසා ආරවුල තිබෙන දෙසට ගමන් කර ඇත්තේ නැවතුණ වාහනය අසළ බයිසිකලයද නවතා තබාය. එම අවස්ථාවේ එක්වරම බීමත් පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු එතැනට පැමිණ පොලිස් සැරයන්වරයාගේ ඉනේ තිබුණ පිස්තෝලය උදුරාගෙන ඇති අතර ඔහු පොලිස් සැරයන්වරයාට එයින් වෙඩි තබාගෙන ගොස් තිබේ.

මෙම කලබලය නිසා වාහනයේ සිටි පොලිස් කොස්තාපල්වරයාද වාහනයෙන් බැස ඇත්තේ විනිසුරුව තල්ලු කර ආරක්ෂා වන්නැයි උපදෙස් දෙමිනි. ඔහුද බීමත් කලහකරුට වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ තමාට වෙඩි තබන අනෙක් පුද්ගලයා දෙසට හැරුණු කලහකරු එම පොලිස් නිලධාරියාටද වෙඩි තබා ඒ සමගම  සැකකරු සමීපයේ සිටි කාන්තාවකගේ යතුරු පැදියක් පැහැරගෙන පළාගොස් තිබේ. වෙඩි තැබූ අය විනිසුරු දෙසට වෙඩි එල්ල කර තිබී නැත.

සිද්ධිය නිසා පොලිස් නිලධාරීන් දෙදෙනාම තුවාල ලද අතර විනිසුරුට කිසිදු තුවාලයක් සිදුවූයේ නැත.
පැය කිහිපයකට පසු පොලිස් සැරයන් සරත් මියගිය අතර පොලිස් කොස්තාපල් විමලසිරි තවමත් තුාවල වලට ප්‍රතිකාර ගනිමිනි රෝහලේ සිටී.වෙඩි තැබූ අය අල්ලන්නට පොලිසිය දියත් කළ මෙහෙයුමෙන් පසු සැකකාර බීමත් පුද්ගලයා සමග ආ අනෙක් දෙදෙනා අල්ලාගන්නට පොලිසිය සමත් විය. ඔවුන් පළායන්නට යොදාගත් ස්කූටරයක්ද‍ පොලිසිය භාරයට ගෙන තිබේ.වෙඩි තැබූ සැකකරු තවම සැඟව සිටී.