ගයාත්‍රි ලංකාව අතහැරලා යනවා කියන්නේ ඇත්තද?
මගේ දුවලා දෙන්නගේ අධ්‍යාපන වැඩවලට තමයි විදේශගත වෙන්නේ. නැත්නම් මේ ලංකාව අතහැරලා
යන ගමනක් නෙවේ.


දුවලගේ අධ්‍යාපන කටයුතු විතරමද?

ඔව්. ඒ දෙන්නගේ අධ්‍යාපන කටයුතු නිසයි කැනඩාවට යන්නේ. නැතුව මට විදේශගත වෙන්න ඕනකම නිසා
‍නෙවෙයි.

විදේශගත වෙන්නේ ටික කාලයකට වුණත් ගයාත්‍රිට ඒ රටේ රැකියාවක නිරත වෙන්න වේවි නේද?

ඔව්. මම කැමැතියි ඒ රටාවට. ලංකාවේ ඇතුළේ ජීවත් වෙන විදිහයි වෙන රටකට ගිහින් ජීවත් වෙන
විදිහයි හරි වෙනස්. මම කැමතියි රැකියාවක් කරගෙන ගෙදරට වෙලා ඉන්න. දැන් මම අවුරුදු විස්සක්
විතර ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ කාලය තුළ අපිට පෞද්ගලිකත්වයක් තිබුණෙම නැති තරම්. මට පාඩුවේ ඉන්න
ඕන කියලයි දැන් හිතෙන්නේ.

ඒ සියලු දේවල් සැලසුම් කරලද තියෙන්නේ?
දුවලා දෙන්නගේ වැඩ හැමදේම හරි. දැන් ඒ දෙන්නට යන්න විතරයි තියෙන්නේ. බොහෝදුරට අගෝස්තු
මාසේ ඒ දෙන්නා යනවා. මගේ දේවල් නම් ලොකුවට සැලසුම් කරලා නෑ. පළපුරුද්දත් එක්ක මට සැලෝන්
එකක රැකියාවක් කරන්න පුළුවන්. බලා‍පොරොත්තුව නම් ඒ රටේ මගේම සැලෝන් එකක් පටන් ගන්න.

 චන්න කැමතිද දුවලා දෙන්නත් එක්ක ඔබ විදේශගත වෙනවට?
චන්න කැමතියි දුවලා දෙන්නා විදේශගත වෙනවාට. එයාට වෙලාව තියෙන හැටියට දරුවන් බලන්න ඒවි.
දුවලා දෙන්නත් එක්ක චන්න ගොඩක් එකතුයි. ඒ නිසා ළමයින්ට එන්න බැරි වුණත් චන්න ඒවි. කවදාවත් ඒ
සම්බන්ධකම් නැතිවෙන්නේ නෑ. සමහර විට චන්න අයියා දරුවන් එක්ක ඉන්නම එන්නත් පුළුවන්.

රංගනයෙන් ඈත් වෙනවාට දුකක් නැද්ද?
නෑ. දැනටත් රංගනය ලොකු කැමැත්තකින් කරනවා නෙවේ. ඒ නිසා රංගනයෙන් ඈත්වෙන එක ගැන
ලොකුවට දුකක් දැනෙන එකක් නැහැ.

භාරගත්ත වැඩ අතරමග නතර කරන්න වේවිද?
නෑ. මම කවදාවත් භාරගත්ත වැඩක් නම් අතරමග නතර කරලා යන කෙනෙක් නෙවේ. භාරගත්ත ටෙලි
නාට්‍ය ගොඩක් ඒ වගේ වැඩ ඉවරයි. එක ටෙලි නාට්‍යයක් විතරයි තව තියෙන්නේ. ඒකත් ලබන මාසේ
වැඩ ඉවර වේවි. චිත්‍රපට කිහිපයක වැඩ ටිකක් තියෙනවා. ඒ අයට කීවා ඉක්මනින් ඒ වැඩත් ඉවර කරමු
කියලා.

ඇත්තටම ගයාත්‍රිට ලංකාව ගැන කලකිරිලාද ඉන්නේ?

රට ගැන නම් කලකිරිලා නෑ.   සමහර වෙලාවට ළඟ ඉන්න මිනිස්සු ගැන කලකිරෙනවා. ඒක සාමාන්‍ය
දෙයක්. ලෝකයේ හැමතැනම හොඳ මිනිස්සුන්ට වඩා නරක මිනිස්සු ඉන්නවා.

ඔබ විදේශගත වෙද්දී ව්‍යාපාර කටයුතු අතරමග නතර කරන්න වේවි නේද?
ඒ දේවල් නවත්වන්න අදහසක් නෑ. මම මේ රටේ නොහිටියත් ඒ දේවල් කරගෙන යනවා. එකම දේ මට
මනාලියන් හැඩ ගැන්වීම කරන්න වෙන්නේ නැති එක විතරයි.

විවාහයෙන් පස්සේ දූ දරුවන් ලැබුණාම ආදරය පෑල දොරෙන් පැනලා යනවා කියන්නේ ඇත්තද?
අපි දෙයක් අයිති කරගෙනම ඉන්න විට ඒ දේ වටිනාකම අඩු වෙනවා. ඒක සාමාන්‍යයයි. මෙහෙම දේවල්
අත්විඳලා තියෙනවට වඩා අහලා තියෙනවා. ආදරය අයිති කරගැනීම මත ඒ ගැන සොයා බලන එක වගේම
ආසාව අඩුවෙනවා. සමහර අය කියනවා විවාහ සහතිකයත් එක්ක මරණ සහතිකය ලැබෙනවා කියලා. ඒත්
ඔය දේ සාපේක්ෂයි. ‍පොදු දෙයක් නෙවේ.

ගයාත්‍රි අඩු වයසින් විවාහ වීම ගැන කලකිරීමකින්ද ඉන්නේ?
අවුරුදු දාහතෙන් තමයි මම විවාහ වෙන්නේ. ඒ කා‍ලේ ලොකුවට දැනුණේ නැහැ. හැබැයි විවාහ වුණා.
කලකිරීමක් නැහැ. වෙන්න තියෙන දේවල් තමයි වෙන්නේ. ඒ දේවල් වෙනස් කරන්න අමාරුයි. විවාහයෙන්
මා ලබපු වටිනාම දේ තමයි මගේ දරුවෝ. මම කළකිරුණොත් දරුවොත් මගේ ළඟ නෑනේ.

ගයාත්‍රි ඩයස්ගේ ජීවිතේ සියල්ල සම්පූර්ණයිද?
අනේ නෑ. එහෙම හිතන්න බෑ. ප්‍රශ්න, දුක හැමදේම මම විඳලා තියෙනවා.

කැමැත්තක් නැද්ද අධ්‍යක්ෂණයට යොමුවෙන්න?
ලොකු කැමැත්තක් තියෙනවා. ගොඩක් කාලෙක ඉඳන් තමයි ඒ කැමැත්ත තියෙන්නේ. මම ඒ ගැණ සැලසුම්
කරලා තියෙනවා. බොහෝදුරට ලබන අවුරුද්දේ පටන් ගනීවි. දැන්ම කියන්න කැමති නෑ. ටික දවසකින්
පළවෙනි පියවර එළියට දානවා. එදාට ඒ ගැන කතා කරමු.

චන්නත් එක්ක එකතුවෙලා අධ්‍යක්ෂණය කළොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

‍පොඩ්ඩක්වත් කැමති නෑ. චන්න අයියා එක්ක වැඩ කරන්න බෑ. එයාගේ වැඩවලට මම දායක වෙන්නේ
නෑ. මට නිදහසේ මගේ වැඩ කරන්න ඕන.

කාලය ගතවෙද්දී ගයාත්‍රිට කැනඩාවෙම පදිංචි වෙන්න හිතුණොත්?
තවම එහෙම තීරණයක් නෑ. සමහර විට එහෙම හිතුණොත් මට කැනඩාවේම පදිංචි වෙන්න පුළුවන්.

Interview -තිළිණි කරුණාරත්න (රිවිර)
Pix By– චමිල කරුණාරත්න