මිනුවන්ගොඩ කලහුගොඩ ප‍්‍රදේශයේ නිවසක රහසිගත ලෙස සගවා තිබූ අවි ආයුධ ගබඩාවක් හමුවී ඇත.ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් ඒවාට යොදන ජීව උණ්ඩ 263 ක්, රයිෆල් උණ්ඩ 25 ක් ද  අත්බෝම්බයක්, ටී 56
වර්ගයේ ප්ලාස්ටික් මැගසිනයක් සහ යකඩ මැගසිනයක් ද මෙහි තිබී ඇත.
ගිනි අවි වල අංක මකා දමා තිබුණ අතර අවි ආයුධ සමග නිවසේ රැඳි සිටි සැකකරුවෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ප‍්‍රශ්න කිරීම් වලදී සැකකරු පවසා ඇත්තේ තම සහෝදරියගේ යුද හමුදා සෙබළ පෙම්වතා පසුගිය යුද සමයේ මේවා නිවසට ගෙනවිත් නිවසේ වළ දැමූ බවයි.සැකකාර හමුදා සෙබළාගේ සොයුරා පාතාල සාමාජිකයෙකු වන බවත් කටුනායක ආඩි අම්බලම ප‍්‍රදේශයේ පාතාල ගැටුමකදී වෙඩි තබා ඝාතනයවූ සුරංග තුෂාර නොහොත් ලොකු අයියා බවත් හෙළි විය.
ඒ අනුව මෙම අවිද පාතාල වැඩ සඳහා බාවිත කරන්නට සූදානම් කරගත් ඒවා බවට සැකයක් මතුව තිබේ.
සැඟවූ  ටී 56 වර්ගයේ අවි දෙක පිටතට ගෙන භාවිතයට ගැනීමට හැකිවන පරිදි වරින්වර තෙල් ගන්වා පිරිසිදු කළ බවද අත්අඩංගුවට ගත් සැකකරු පොලීසියට පවසා තිබෙනවා.
සැකකරු මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කරන්නට නියමිතය.