මීතොටමුල්ලේදී
මියගිය පිරිස 10 දක්වා ඉහළට
දරුවන් 4 ක් ඒ අතර


ඊයේ (14) සවස මීතොටමුල්ල ප්‍රදේශයේ සිදුවූ කුණු කන්ද නායයාමේ ඛේදවාචකය නිසා මියගිය පිරිස මේවනවිට ගණනය කරද්දී 10 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ගණනය කරන්නට හැකිවූ මළ සිරුරු ගණන වුවත් තවමත් කුණු කන්ද අවට නිවාස බිත්ති පස් බැමි ආදියට යටවූ අතුරුදන් පිරිස් සොයන බවත් මියගිය ගණන මීටත් වඩා වැඩි බවත්
බලධාරීන් දන්වා ඇත.
මියගිය අයගේ මළ සිරුරු කොළඹ ජාතික රෝහලට ගෙනවිත් තිබෙන අතර ඒ අය අතර අවුරුදු 12, 15, 14, සහ 11 යන වයස් වල පසුවන කුඩා දරුවන් සිව්දෙනෙකු ද ඊට අයත් බව වාර්තා විය.
මෙම ඛේදවාචකය නිසා තුවාල ලැබු 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් 5 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.මරණයට පත්වූවන් අතුරින් රෝහළ තුළදී මිය ගියේ එක් පුද්ගලයෙකු පමණක් බවත්, අනෙක් අය මරණයට පත්ව සිටියදීම ඇතුළත් කරනු ලැබූ අය බවත් ජාසිංහ මහතා සිහිපත් කළේය.
නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයින් 7 දෙනාගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩාවැටීමේ සිද්ධියෙන් පුද්ගලයින් 180 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.
ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා පැවසුවේ ප්‍රදේශයේ විහාරස්ථානයක ඔවුන් රඳවා ඇති බව ය.
සිද්ධියෙන් විපතට පත්වූවන්ට මුදවා ගැනීම සඳහා කඩිනමින් වහාම පියවර ගන්නැයි ජනාධිපතිතුමා තමුන්ට උපදෙස් ලබාදුන් බව ද ආපදා කළමනාකරණ අමාත්‍යවරයා පවසයි.
සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 300 ත් 400 ත් අතර පිරිසක් යොදවා ඇතැයි හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
සිද්ධියෙන් විපතට පත්වුවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා මීතොටමුල්ල මිහිඳු විද්‍යාලයේ තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව ද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම ස්ථානය නැරඹිට පැමිණිමෙන් වළකින ලෙසය.