රිමාන්ඩ් භාරයේ පසුවන විමල් වීරවංශ මහතා මාංචු කුට්‌ටමක්‌ සහිතව කේක්‌ ගෙඩියක්‌ කපමින් පාර්ලිමේන්තුව තුළ ඊයේ (07 දා) සිය උපන් දිනය සැමරීම සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානයට යොමු කරවන බව ඊයේ පාර්ලිමේන්තුවේදී මුලසුන විසින් දැනුම් දුන්නේය.

මුලසුනේ සිටි එඩ්වඩ් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධව අදාළ පාර්ශවයන්ගෙන් අවසර ලබාගෙන ඇති බවට පවසන නිසා කථානායකවරයාගේ අවධානය යොමු කරවන බවය.
පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති විවාදය අතරතුරදී රීති ප්‍රශ්නයක්‌ මතුකරමින් නැගී සිටි කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඡායාරූප දෙකක්‌ ප්‍රදර්ශනය කරමින් මෙසේ කීවේය.

මේ පාර්ලිමේන්තුව තුළට පාසල් සිසුවකුට පවා කෑම පැකට්‌ එකක්‌ ගෙනැවිත් කන්න බෑ. තහනම්. එසේ තිබියදී විමල් වීරවංශ මන්ත්‍රීතුමා මාංචු කුට්‌ටමක්‌ සහිත කේක්‌ ගෙඩියක්‌ ගෙනැවිත් එය කපා උපන් දිනය සැමරුවේ කොහොමද?

විමල් වීරවංශ මහතා - මම නොවේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් එය කළේ. වේත්‍රධාරී තුමන්, නියෝජ්‍ය ලේකම්තුමන් දැනුවත් කර නිසි අවසරයකින් තමයි මගේ උපන් දිනය සැමරුවේ. ඒ නිදහසේ උපන් දිනය සමරන්න බැරි නිසා. ඒකවත් තේරුම් ගන්න බැරි අය යෑවිය යුත්තේ අංගොඩ සමයං ළඟටයි.

මුලසුනේ එඩ්වඩ් ගුණසේකර මහතා - නීති කඩවී ඇත්නම් ක්‍රියාමාර්ගයක්‌ ගන්නවා.

තුෂාර ඉඳුනිල් මහතා - විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඉපදුනා කියලා අපේ අහිතක්‌ නෑ. සුබ උපන් දිනයක්‌ පතනවා. ඒත් බත් පැකට්‌ එකක්‌වත් ගෙන එන්න බැරි එකේ කොහොමද කේක්‌ ගෙඩියක්‌ ගෙනාවේ. මන්ත්‍රීවරුන් ලෙස මෙය අපේ ආරක්‍ෂාවට තර්ජනයක්‌.

මුලසුන - කථානායක මගින් සොයා බලන්නම්. අවසර ගත්තා කියා කියනවානේ.

වීරකුමාර දිසානායක මහතා - මමයි මේ ප්‍රශ්නෙට මැදිහත් වුණේ. වේත්‍රධාරිතුමාට කතාකරලා නිසි අවසරයකින් කළේ.

චමින්ද විඡේසිරි මහතා (එජාප) - පාර්ලිමේන්තුවට සහභාගි වෙන්නයි උසාවියෙන් අවසර දෙන්නේ. උපන් දිනය සමරන්න නොවේ.

තුෂාර ඉඳුනිල් මහතා - පාර්ලිමේන්තුවේ උපන් දින සාද පවත්වන්න පුළුවන්ද?

මුලසුන - කථානායකතුමාගේ අවධානයට යොමු කරන්නම්.

(අජිත් අලහකෝන්)

එම උපන්දින සැමරුමේ ඡායාරූප පහතින්
http://www.gallery.gossiplankanews.com/birthday/wimal-weerawansas-birthday.html