විමල් වෙනුවෙන් කෑගසු දිනේෂ්
සතියකට පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමූ නාටකය (video)


ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් ලෙස පිළිගත නොහැකි බවට කථානායක  කරු ජයසූරිය මහතා ඊයේ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඇතිවූ කලබලකාරී වාතාවරණයේදී පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වූ දිනේෂ් ගුණවර්ධනට සිය හදිසි කෝපය පාලනය කරගන්නට බැරිව ගියේය.
පාර්ලිමේන්තුවේ පක්ෂයක් ලෙස ජාතික නිදහස් පෙරමුණ ලියාපදිංචිවී නොමැති වාතාවරණයක් තුළ එය වෙනම පිළිගන්නට අවශ්‍යතාවයක් නැති බව කතානායකවරයා කරුණු සහිතව පැහැදිලි කළද සිරගදෙර සිට පැමිණි විමල්ටත් වඩා ඒ ගැන වදවූයේ දිනේෂ්ය.
දිගින් දිගට සිදුවන බාධා හමුවේ
කතානායකවරයා සභාවෙන් පිටතට යන ලෙස දිනේස්ට ස්ථාවර නියෝගයක් නිකුත් කළද ඔහු හිතුවක්කාර ලෙස රැඳී සිටි අතර ඔහු වෙනුවෙන් විමල් බන්දුල යනාදීන් අදහස් පළකරමින් පක්ෂව කථා කළෝය.
පසුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් අනතුරුව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සතියක කාලයක් පාර්ලිමේන්තු කටයුතු සීමා කෙරුණ අතර පොලිසියේ සහාය සමග වේත්‍රදාරීන් ඔහුව ඉවතට පළවා හරින්නට සිදුවිය.

පස්වරු 1කට ආරම්භ වු පාර්ලිමේන්තුව පස්වරු 4 පමණ දක්වාම නොසන්සුන් මුහුණුවරක් ගෙන තිබුණි.
මුලින්ම කථානායකවරයා සභාව විනාඩි 10 කට කල් තැබීමට තීරණය කළේය.

එම කාලය ඉක්මවා යමින් සභාවේ කටයුතු යළි ආරම්භ වුවද සභාව පවත්වාගෙන යාමට නොහැකි වුයේ යළි ත් සභාව නොසන්සුන්වීම හේතුවෙනි.

එම විරෝධය හමුවේ දිනේෂ් ගුණවර්ධන මහතාට සභාවෙන් ඉවත්ව යන ලෙස මුල්වරට කථානායකවරයා දැනුම් දුන්නේ ය.
එම දැනුම් දීමත් සමග සභාව දෙවන වරටත් කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.
යළි සභාවේ කටයුතු ආරම්භ වුව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් නොවීය.
ඔහු දිගටම සභාවේ රැඳී සිටීම හමුවේ යළි ඇති වූයේ නොසන්සුන් තත්ත්වයකි.

මෙහිදී කථානායකවරයා වේත්‍රධාරීන්ට නියෝග කළේ දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

සභාව තෙවන වරටත් කල් තැබීමට ද කථානායකවරයා එහිදී පියවර ගත්තේය.
පසුව යළි සභාවේ කටයුතු ආරම්භ වු අවස්ථාවේදී ද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා රැඳී සිටිම හේතුවෙන් කථානායකවරයා තීරණය කළේ, ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසීමටයි.
මෙහිදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සතියකට අත්හිටුවීමට යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 85 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡණ්ද 22 ක් පමණි.
මේ අතර දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක් කාලයක් පාර්ලිමේන්තු කටයුතු සීමා වීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගියහ.
සිද්ධිය අවස්තාවේ වීඩියෝව පහතින්