බිරියගේ මව මරා ඇප මත සිටි සැමියා
බිරිය මරන්න ඇවිත් අසල්වාසී ගල්මුල්වලින් මරුට

සැමියෙකු විසින් සිය බිරිය ඝාතනය කිරීමට තැත් කිරීමේදී ඇයගේ කෑගැසීම ඇසී පැමිණි ඥාතීන් හා අසල්වාසීන් විසින් ගල් මුල්වලින් පහරදී එම පුද්ගලයා මරණයට පත් කිරීමේ කලහකාරී සිද්ධියක් රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
25 හැවිරිදි මහේෂ් තිලකරත්න නැමති මියගිය පුද්ගලයා මීට වසර 2 කට පෙර 2015 වසරේදී  බිරියගේ මවට පිහියෙන් ඇන ඝාතනය කර
තිබූ අයෙකි.

ඒ සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් සිරගතව සිටි ඔහු පසුව ඇප මත නිදහස්ව ඇත්තේ මීට මාස 8 කට පමණ ඉහතදීය. ඔහු ඉන් පසුව යළි නිවසට භාර ගන්නට බිරිය කැමතිවී නැත. ඔහු වෙනම ජීවත්ව සිට ඇත්තේ බිරිය මරා දමන සැලසුම් සහිතවය.

පෙරේදා රාත්‍රියේ (13දා) කරඳන දම්මුල්ලේ පහළගම පිහිටි බිරියගේ නිවෙසට ගොස් තිබෙන ඔහු ඇයට පිහියක් පෙන්වා බියකර ඇය ඝාතනය කිරීමට උත්සාහ දරා ඇත. එම අවස්ථාවේ ඇසිඩ් බෝතලයක්ද පෙන්වා ඇයට බියගන්වා ඇති ඔහු බිරිය එළියට ගෙන මරා දැමීමට උත්සාහ කර ඇත. මෙම අවස්ථාවේ මහ හඬින් කෑගැසූ ඇයගේ ශබ්දය අසල්වාසී නිවාසවලට ඇසී තිබේ. ඒ අවට සිටින අය ඇයගේ නිවස වෙත එම අවස්ථාවේ දිව ඇවිත් තිබෙන අතර මෙම පුද්ගලයා ඇය මරන්නට උත්සාහ දරන ආකාරය අසල්වැසියන් දැක තිබේ. ඔහු කොටුවූ පසු ළඟට එන අයටද පිහියෙන් අනින්නට උත්සාහ කර ඇත.

පිරිස ඔහු වට කරගෙන තිබෙන අතර නිවසේ තිබුණ මල් පෝච්චි හා වත්තේ තිබුණ බොරළු කැට ආදියෙන් ඔහුට පහරදී මෙල්ල කරන්නට අසල්වැසියන් උත්සාහ කර තිබේ. ඒවායින් පහර කා ඇද වැටුණ පුද්ගලයා හිසේ නරක තැන්වලට පහර වැදී ලේ ගලන තුවාල සහිතව ජීවිතක්ෂයට පත් විය.
අසල්වාසීන්ගේ ක්‍රියා කලාපය නිසා අසරණ කාන්තාවගේ ජීවිතය බේරුණ බව පොලිසිය නිරීක්ෂණය කර තිබේ.
සිද්ධිය වූ ස්ථානයේ තිබී මියගිය පුද්ගලයා ගෙනා පිහිය සහ ඇසිඩ් බෝතලය පොලිසිය භාරයට ගන්නා ලදි.