පොඩ්ඩිට දැන් සුවයි..  
වැලිසරදී වැඩිදුර ප්‍රතිකාර දෙනවා..
- වෛද්‍ය රන්දිල් සැමට තුති පුදයි

පසුගිය සතියේ අප වෙබ් අඩවියේ මෙන්ම අන්තර්ජාලයේ බොහෝ තැන්වල ප්‍රචාරය වුණ වෛද්‍යවරයෙකුගේ රියකට හැපී තුවාල ලද වසු පැටවියට එම වෛද්‍යවරයා උදව් කිරීමේ සිද්ධියේ ඉතිරි කොටස  එම සිද්ධියට මුහුණ දුන් මහරගම පිළිකා රෝහලේ ශල්‍ය වෛද්‍ය රන්දිල් ද අල්විස්  ගොසිප් ලංකා වෙත තුති පිදීමේ ඊමේල් සටහනක් එවමින්
දන්වා තිබේ.
ඔහු පවසා තිබෙන්නේ ‘පොඩ්ඩි‘ නමැති එම වසු පැටවිය මේ වනවිට වැලිසර රාජ්‍ය පශු වෛද්‍ය ආයතනයේ වැඩිදුර ප්‍රතිකාර ලබන බවත් තත්වය සුව අතට හැරී තිබෙන බවත්ය.
මෙම සංසිද්ධිය වාර්තා කළ අයට මෙන්ම ඒ ගැන වර්ණනා කරමින් කොමෙන්ටු පළ කළ සැමට ඔහු තුති පුදා  තිබුනේ මෙසේය.

‘සමාජ ජාල සහ විවිධ ජනමාධ්‍ය හරහා පැතිර ගිය මා සම්බන්ධ පුවතට ලද විවිධාකාර ප්‍රසංසා හා ආශිර්වාද දැකීමෙන් මා පුදුමයට සහ නිහතමානීව සතුටට පත් වූ බව කිවමනාය.මා ඒ මොහොතේ මට සිතුන හොඳම දේ කළ අතර ඒ අන් කිසිම හේතුවක් නිසා නොව ඇයද අප සැවොම මෙන් හැගීම් දැනිම ඇති අසරණ ප්‍රාණියෙකු නිසා වෙනි. ඔබ සියලු දෙනා එම ක්‍රියාව ඇගයිම මට සතුටක් වූයේ ජිවිත වල වටිනාකම හදුනන තව බොහෝ පිරිසක් මෙම පින් බිමෙි තවමත් සිටින බව දැනගැනීමෙනි.."පොඩ්‍ඩී" දැනට සුවෙන් සිටින අතර වැලිසර රාජ්‍ය පශු වෛද්‍ය ආයතනය මගින් වැඩිදුර ප්‍රතිකාර කරනු ලබයි.
යහපත් දෙය සමාජ ගතකොට සමාජ ප්‍රගමනය සදහා කැපවුණු ,සමාජ ජාල හා අනෙකුත් මාධ්‍ය සගයන්ටද මෙය ආශිර්වාදයක් වනු නිසැකය.අවසන ඔබේ වටිනා ඇගයිම ,වැටුපට එහා ගිය විසල් සේවාවක් සලසමින්,අහිංසක අසරණ රෝගී ජිවිත බේරා ගැනීමට වෙර දරනා සුවහසක් ලාංකීය වෛද්‍යවරුන් හටත් මිනිසුන් හෝ සතුන්ගේ වුවද පන නල යඳින ජිවිත වල වටිනාකම දැනෙන හදුනන ඔබ සෑම සියලු දෙනාටමත් උපහාරයක්ම වේවා...!!! ‘
රන්දිල් ද අල්විස් 


සිද්ධියට අදාළ මුල් වාර්තාව මෙතැනින්
තම වාහනයට අලාබ කරමින් හැපුණ වසු පැටවාට මහමගදී සැත්කමක් කළ වෛද්‍යවරයා