වයස 25 ෆාතිමාගේ සැත්කම වැරදුවැයි
වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේට එරෙහිව නඩු

වයස අවුරුදු 25ක් වූ කාන්තාවක ශල්‍යකර්මයක් අතරතුර මරණයට පත්වීමේ සිද්ධියකින් පසු ඇගේ ස්වාමි පුරුෂයා එම සැත්කම සිදු කළ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලට හා එම ශල්‍යකර්මය කළ ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අර්ජුන අලුවිහාරේ මහතාට එරෙහිව නඩු පවරා තිබුණි.
දිවයිනේ කීර්තිමත් වෛද්‍යවරයෙකු වන මහාචාර්ය අර්ජුන අලුවිහාරේ
විද්‍යාජෝති සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි.
සිද්ධියට අදාළ කාන්තාව රෝහලට ඇතුළත් කර තිබුනේ අධෝ මාර්ගයේ සැත්කමක් සිදුකිරීමටය. ඉකුත් 12 දා ඇතුළත් කර මහාචාර්යවරයා රෝගී කතට එන්නතක් ලබාදීමෙන් පසු ඇය මරණයට පත්ව ඇත.
මියගිය කාන්තාවගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදුකළ පසුව මරණයට නිශ්චිත හේතුවක් දැක්විය නොහැකි බව දන්වා තිබේ.
සුදුහුම්පොළ මුල්ගම්පොළ පදිංචි ෆාතිමා උම්මා නමැති ඇය තිදරු මවක විය. ඇයගේ අවසන් කටයුතු පෙරේදා (13දා) පස්වරුවේ සිදුකෙරිණි.
 නීතිඥයකු මඟින් මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා හමුවට මහාචාර්යවරයා ඉදිරිපත් වූ අවස්ථාවේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරිනු ලැබ ඇත.
යළි මාර්තු 21 දින අධිකරණයේ පෙනී සිටින ලෙසද වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා වෛද්‍යවරයාට නියෝග කළේය.
හේතුවක් දැක්විය නොහැකි බව අධිකරණ වෛද්‍ය වාර්තාව මඟින් දක්වා තිබිම සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස පොලිසියට නියෝග කළේය.