මාස 10 ක් හිරේ ඉඳලා ඇති වෙලා
මටම වද දෙන්නෙ නැතිව තාජුඩීන් මරපු අය අල්ලන්න
-අනුර සේනානායකගෙන් හැඟුම් බර ප්‍රකාශයක්

වසීම් තාජුඩීන් ඝාතන නඩුව සම්බන්ධයෙන් මාස 10 ක් තිස්සේ රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක ඊයේ (16 දා) අධිකරණයේදී ‘මටම වදදෙන්නෙ නැතිව මිනීමරුවන් අල්ලන්නැ‘යි  හැඟුම් බර ප්‍රකාශයක් කළේය.
කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා හමුවේ ඔහු මෙසේ කියා සිටියේය.

‘ස්‌වාමීනී.... මේ පැමිණිල්ලේ පරීක්‌ෂණවලට
හරියටම මේ වන විට වසර දෙකක්‌ වෙනවා. පරීක්‌ෂණවලට වසරයි මාස තුනක්‌ යන කොට මාව අත්අඩංගුවට ගත්තා. පැමිණිල්ලට බී වාර්තා 50 ක්‌ විතර දාලා තියෙනවා. ඒ කිසිම එකක මාව අත්අඩංගුවට ගන්න සුදුසු කරුණු දැක්‌වීමක්‌ නෑ. මාව අත්අඩංගුවට ගත්තේ සාක්‌කි වසන් කිරීමට. යම් සාක්‌කිකරුවෙකු
ලබාදුන් ප්‍රකාශයක්‌ මත සාක්‌කි වසන් කිරීමේ චෝදනාවට මේ උසාවියට ඇප දෙන්න පුළුවන්. ඒත් දිගින් දිගට රිමාන්ඩ් කරලා තියන්න ඕනේ නිසා මිනීමැරුම කුමන්ත්‍රණය කළා කියලා පසුව වෙනස්‌ කළා. දැන් මාස 10 ක්‌ රිමාන්ඩ් එකේ ඉන්නවා.
තාජුඩීන් මහතා ඝාතනය කළ මිනීමරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගත යුතුයි. එය මඟ හරින්න දෙන්න එපා.

ස්‌වාමිනී.... මා කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‌ෂවරයා ලෙස පත්වීමට පෙර එය භාර ගන්න කිසිවකු සිටියේ නෑ. ඒ කාලය එල්. ටී. ටී. ඊ. ප්‍රහාර කොළඹටත් එල්ල වූ කාලයක්‌. කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‌ෂවරයා ලෙසින් එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් දණ ගස්‌වන්න මා මොන තරම් සටනක්‌ කළාද කියලා රටම දන්නවා. මම එය මතක්‌ කළේ ඒවා නිසා මාව නිදහස්‌ කරන්න කියලා. ඉල්ලන්න නොවෙයි.

නිකරුණේ රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින මා ඉතාමත් දැඩි මානසික කායික අසහනයකට පත් වෙලා තියෙනවා. මගේ මල්ලි හමුදාවේ. ඔහුව එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්‌ වෙලා මියගියා. මගේ අම්මා රණවිරු මාතාවක්‌.

ස්‌වාමිනී.... මගේ දිහා අපරාධකරුවෙකු විදියට බලන්න එපා කියලා ඉල්ලනවා. මුළු රටම මෙම ඝාතනය මා කළ එකක්‌ කියා බලා ඉන්නවා. තාජුඩීන් මහතාව ඝාතනය කළ මිනීමරුවන් වහාම අත්අඩංගුවට ගත යුතුයි. වසර දෙකක්‌ ගත වෙලත් එය මේ වන තෙක්‌ සිදු වී නැත්තේ ඇයි දැයි විමසිය යුතුයි. මා හට සහනයක්‌ ලබා දෙන ලෙසද ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.‘

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරු ලබන 30 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසත් එදිනට සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන පරීක්‌ෂණයේ ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළේය.