ආච්චිගේ මරණය සැකයි කියා
මුණුපුරු මිණිපිරියන් පිහි වලින් ඇනගෙන

ගර්භණි මව ඇතුළු නව දෙනෙකුට බරපතලයි

ඊයේ  මඩකලපුව ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසක ඇතිවූ කලකෝලාහලයක් නිසා පිහි පහරවලට ලක්වී ගර්භණී මවක ඇතුළු නව දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
කන්දසාමි සල්වමණි නමැති 74 හැවිරිදි කාන්තාවගේ මරණය සැකසහිත බවට එකිනෙකාට දොස්නගා ගනිමින්
ඇයගේ මළගෙදරදී මේ අය ගැටුමකට මුලපුරා තිබේ.

මඩකලපුව ආරයම්පදි කර්බලා ගම්මානයේ කාලි කෝවිල් විදියේ  අදාල කාන්තාව පසුගිය සෙනසුරාදා මරණයට පත්ව ඇත. එම කාන්තාවගේ මරණයේදි සැක ඇති බවට මුනුපුරු මිණිපිරියන් කන්ඩායම් දෙකක් අතර දිගින්දිගටම වාද ඇතිවී පසුව ගැටුම් ඇතිවූ බව කියැවේ. ඉරිදා මුණුබුරන් අතර සිදුවු ගැටුම අවස්ථාවේ උල් මන්නා පිහි ආදිය මගින් ඔවුන් කපාකොටාගෙන ඇත.
මෙයින් අසාධ්‍ය වූවන් 9 දෙනෙකු මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර එක් යෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර තිබේ.ගර්භණි මවක ආරයම්පදි මුලික රෝහලට ඇතුලත් කර ඇත.
මියගිය වයෝවෘද්ධ කාන්තාවගේ දේහය පශ්චාත් පරික්ෂණයට භාජනය කරන ලෙස හදිසි මරණ පරික්ෂණ නිලධාරි නියෝග කර ඇත. කාත්තාන්කුඩි පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

(මඩකලපුව වාර්තාකරු - ජවුෆර්කාන්)