දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර කිංස්මීඩ් ක්‍රීඩා පිටියේදී එක්දින තරගයකදී දකුණු අප්‍රිකානු පිලක් ලබා ගත් ඉහළම තුන්වැනි ලකුණු සංඛ්‍යාව පෙරේදා (1දා) වාර්තා කළ ඒ.බී. ඩි විලියර්ස්ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකානුවන් මෙවර තරගාවලියේ දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකාව පරදා ලකුණු 121ක ජයක් ලැබීය.
කාසියේ වාසිය පරාජය වීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දුන් ඔවුන් පන්දුවාර 50කදී කඩුලු 6කට ලබා ගත් ලකුණු 307 පසුකිරීමට ගිය ශ්‍රී ලංකා පිලේ සියලුම දෙනා පන්දුවාර තිස්හතයි පන්දු 5ක් ගතවන විට ලකුණු 186කට දැවී ගිය අතර, ශතක ලබා ගත් ෆා ඩු ප්ලෙසි හා ඩේවිඩ් මිලර් ලකුණු 117ක
සබඳතාවක් තබා ශ්‍රී ලංකාවට එරෙහිව 5 වැනි කඩුල්ල වෙනුවෙන් නව වාර්තාවක් පිහිටුවමින් දැක්වූ දස්කමද අප්‍රිකානුවන්ගේ ජයග්‍රහණයට පාදක විය.

පිළිතුරු දෙන්නට පැමිණි නිරෝෂන් දික්වැල්ල හා උපුල් තරංග ආරම්භක යුගලය ධනාත්මක මුහුණුවරකින් ලකුණු රැස්කළද ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 45දී බිඳී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ පසුව ඇතිවූ ඉහළම ලකුණු සම්බන්ධය වූයේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් චන්දිමාල් හා අසේල එකතු කළ ලකුණු 44යි. ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුවේදී ලකුණු 25ක් ලබා සිටි දික්වැල්ල දවා ගැනීම සඳහා කවර් කලාපයේ සිටි ඩු ප්ලෙසි කදිම උඩපන්දු රැකීමක නිරත වූ අතර පළමු කඩුල්ලේ සම්බන්ධයද එතරම් දුර දිග ගියේ පානෙල් යැවූ 4 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුවේදී තරංග ලකුණු 9ක් ලබා සිටි මොහොතේ දුන් උඩපන්දුව පෙලුක්වායෝ අත්හැරිය නිසාය.

දකුණු අප්‍රිකානු ඉනිමේ හෂීම් අම්ලාගේ සහ ක්වින්ටන් ඩි කොක්ගේ ආරම්භය ලකුණු 19කට සීමා කරන්නට ඉනිමේ 3 වැනි පන්දුවාරය යැවූ සුරංග ලක්මාල්ගේ 5 වැනි පන්දුව සමත් වූ අතර අම්ලා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකොට ලකුණු 15කට එසේ දවා ගැනීමෙන් අනතුරුව ඩි කොක් හා ඩු ප්ලෙසිගේ 2 වැනි කඩුල්ලේ සම්බන්ධයද ලකුණු 46කට වඩා ගෙනයෑම නැවැත්වීමට නැවතත් ලක්මාල් ක්‍රියාත්මක විය. 11 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට ඩි කොක් ලකුණු 17කට දැවී යෑමෙන් පසුව නරඹන්නන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද ඩු ප්ලෙසිට එක්වූ නායක ඩි විලියර්ස්ට පන්දු 5කට වඩා මුහුණ දීමට ඉඩ ලැබුණේ නැත. ලක්‍ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල පිටුපස සිටි චන්දිමාල්ට උඩපන්දුවක් දීමෙන් අප්‍රිකානුවන්ගේ බලාපොරොත්තු කඩකළ නායකයා නැවත ක්‍රීඩාගාරයට යන විට ලකුණු පුවරුව 71ට 3ක් ලෙස සටහන් විය. ඉන් පසුව පැමිණි ජේ.පී. ඩුමිනිද මුළු ලකුණු සංඛ්‍යාව 108ක් වෙද්දී ලකුණු 11කට දවා ගැනීමට සචිත් පතිරණ සමත් විය.

ඉනිමේ 40 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුවේදී කුලසේකරට හතරේ පහරක් එල්ල කරමින් ඩු ප්ලෙසි තම 7 වැනි එක් දින ශතකය වාර්තා කරමින් අතර ඔහු 42 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට කුලසේකරගේම පන්දුවකට මෙන්ඩිස් අතට උඩපන්දුවක් දී දැවී යන විට ලකුණු 105ක් ලබා තිබිණි. එවිට ඔවුන් මුළු ලකුණු 225ක් ලබා සිටි අතර ඉන් පසුව ඩේවිඩ් මිලර් හා ක්‍රිස් මොරිස්ද 6 වැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 60ක් එකතු කළ අතර ඊට පෙර මිලර් තම 4 වැනි එක් දින ශතකයද වාර්තා කළේය. කෙසේ වෙතත් සඳකැන්ගේ පන්දු ඉදිරියේ ඩු ප්ලෙසි ලකුණු 63ක් ලබා සිටියදී ස්ලිප්හි සිටි ධනංජයට දුන් උඩපන්දුවත් මිලර් ලකුණු 67ක් ගෙන සිටි මෙහොතේ කඩුලු රකින චන්දිමාල්ට දුන් උඩපන්දුවත් ගිලිහී යෑමද ශ්‍රී ලංකා පිලට ඔරොත්තු නොදෙන ලකුණු ප්‍රමාණයකට මුහුණ දීමට හේතුවක්ද විය.

දකුණු අප්‍රිකාව
(පන්දුවර 50කදී කඩුලු 5කට) ලකුණු 307
(ෆා ඩු ප්ලෙසි 105, ඩේවිඩ් මිලර් නොදැවී 117,
සුරංග ලක්මාල් 7-0-54-2, සචිත් පතිරණ 4-0-19-1)

ශ්‍රී ලංකාව
(පන්දුවාර 37.5කදී සියලු දෙනා දැවී) ලකුණු 186
(උපුල් තරංග 26, නිරෝෂන් දික්වැල්ල 25,
දිනේෂ් චන්දිමාල් 36, සචිත් පතිරණ 26,
වේන් පානෙල් 6-0-34-2,
ඉම්රාන් තහීර් 8.5-1-26-2,
ජේ.පී.ඩුමිනි 5-0-30-2)