විසඳුමක්‌ ලැබෙනතුරු මාස 6කට සයිටම් අත්හිටුවයි
කොන්දේසි සහිතව යළි පිහිටුවන ලකුණු

උසස්‌ අධ්‍යාපන  ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්  වෛද්‍ය පීඨ අටෙහිම පීඨාධිපතිවරුන් සමග ඊයේ (13 වැනිදා) සවස පැවැති විශේෂ සාකච්ඡාවකදී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ වැදගත් තීරණ රැසක් ලබාගෙන තිබේ.
ඒ අනුව විසඳුමක්‌ ලබාදෙන තෙක්‌
සිසුන් බඳවා ගැනීම මාස හයක කාලසීමාවක්‌ සඳහා අත්හිටුවන නමුත් ඒ කාලය තුළ සයිටම් ආයතනය විධිමත් ආකාරයට ගුණාත්මක මට්ටම සකසා පිහිටුවීමේ සැලසුමක් සාකච්ඡාවට බඳුන්විය.

උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා සමග උසස්‌ අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ගේ්‍රු, උසස්‌

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය පී. එස්‌. එම්. ගුණරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වය ඇතිව සමස්‌ත වෛද්‍ය පීඨ අටෙහිම පීඨාධිපතිවරුන් සහ නියෝජිතවරුන් මෙම කතාබහට එක් විය.

ඉදිරි මාස 6 තුළදී SAITM ආයතනයේ වර්තමාන වෛද්‍ය උපාධි වැඩසටහන පිළිබඳව උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කාලීන සමාලෝචනයක්‌ සිදු කර එහි තීරණ (SAITM) හි පරිපාලනයට යෝජනා කිරීම මෙහි එක් පියවරකි.
අවසන් විභාගය සමත් සහ SAITM ශිෂ්‍යයන් ශල්‍ය වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය සහ ප්‍රසව විද්‍යාව සහ ළමා වෛද්‍ය වේදය හැදෑරූවන් එක්‌ එක්‌ ක්‍ෂේත්‍රය සඳහා මාසයක්‌ බැගින් රජයේ රෝහලක වැඩිදුර සායනික පුහුණුවක්‌ ලබාදීමටද ඊයේ යෝජනාවී තිබේ.
කෙසේ වෙතත් ඉහත කී සායනික පුහුණු කාලය අවසානයේදී, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන බලපත්‍රය ලබා දීමේ විභාගයෙන් එම සිසුන් සමත් විය යුතු බව අනිවාර්ය කර තිබේ.

රජයේ නොවන වෛද්‍ය අධ්‍යාපනයට අදාළ කර ගත හැකි මෙහෙයුම් ක්‍රියාපටිපාටියක්‌ සකස්‌ කිරීමටද ඊයේ කරුණු සාකච්ඡාවූ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමග මේ සියලු යෝජනා පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණ ගැනීමට එකඟ විය.

මින් ඉහත සයිටම් අත්හැර දැමිය යුතු බවට තීරණය කළ වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ අදහස් මේ වනවිට වෙනස්ව තිබීම ඊයේ තීරණ අනුව කැපී පෙනිණි.