ආයුධ පෙන්වන්න රැගෙන යද්දී 
සැකකරු මියගියේ ‘ඇදුම‘ හැදී බව කියූ
පෑලියගොඩ පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට


මින් කලකට ඉහත දරුණු ගණයේ අපරාධ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව උසාවි යන්නටත් පෙරම අනපේක්ෂිත ලෙස මරණයට පත්වීම් සිදු විය.
මෙම රැල්ල ‘අායුධ පෙන්වන්න එක්ක යාම‘ ලෙස එකල පාඨකයන් අතර ජනප්‍රිය විය.
නමුත් මේ කාලයේ එවැනි සිදුවීම් විරලය. වාහන සොරකමක්‌ සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස්‌ පහරදීමකින් මියගිය බව කියන සිද්ධියක්‌ නිසා

පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ඇතුළු පොලිස්‌ නිලධාරීහු පස්‌දෙනෙක්‌ ඊයේ (26 දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කඩුවෙල බියගම ප්‍රදේශයේ පදිංචි ශාමන් වික්‍රමආරච්චි (42) හැවිරිදි දෙදරු පියෙකි. ඔහු වෘත්තියෙන් ත්‍රිරෝද රියැදුරෙකි.

වාහන පැහැර ගැනීමේ සිද්ධියකට අදාළව ඉකුත් 24වැනි දින වෙනත් සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් මෙම පුද්ගලයාද සිය කටයුත්තට උදව් කළ බව හෙළි කර තිබේ.
ඒ අනුව මියගිය තැනැත්තා ඔහුගේ නිවෙසේදී පොලිස් අත්අඩංගුවට ගත් පසුව ඔහු වෙනත් චෝදනා සම්බන්ධයෙන්ද මින් ඉහත වරදකරුවූ අයෙකු බව හඳුනාගෙන ඇත. වාහන පැහැර ගැනීමටද තමා සම්බන්ධ බව ඔහු පාපොච්චාරණය කර ඇත. අනතුරුව එම අපරාධ සිදු කිරීමට යොදාගත් බව කියන පිස්තෝලය කොහිදැයි සැකකරුගෙන් විමසීමේදී ‘ඒක මා ගාව දැන් නෑ. සපුගස්කන්දෙ යාළුවෙක් ගාව තියෙන්නෙ‘ ලෙසින් දන්වා ඇත.

ඒ අනුව පිස්තෝලය පෙන්වීමටය කියා ඊයේ අලුයම 4 පමණ සපුගස්කන්ද ප්‍රදේශයට මොහුව රැගෙන ගිය පොලිස් කණ්ඩායම අනතුරුව මොහුට හදිසි අසනීප තත්වයක් හටගත් බව කියමින් රෝහලට ඇතුළත් කර තිබේ. ඔහුට ඇදුම රෝගයක් තිබෙන බවත් රැගෙන යන අතර ඔහු පළායාමට පොර බැදීමේදී එය උත්සන්නවීම පෙන්නුම් කළ බවත් ඒ නිසා රෝහල් ගත කළ බවත් පොලිසිය සටහන් තබා ඇත.

කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ සැකකරු ටික වේලාවකින් මියගොස් තිබේ.
මෙම පුද්ගලයා සම්බන්ධ මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරුන්ට පොලිසිය මෙය ගැන සපයා තිබූ තොරතුරු ගැන නොගැළපීමක් හඳුනාගන්නට හැකිව තිබේ.
මරණ පරික්ෂණයේදී හෙළී වී ඇත්තේ සැකකරුට පහර දීමක් එදා සිදු වී ඇති බවය.ශරීරයේ විවිධ ස්ථානවල බහුවිධ තුවාල හා අභ්‍යන්තර ලේ වහනය හේතුවෙන් සිදුවී ඇති බව අනාවරණය වී
තිබේ. සැකකරුගේ ඇදුම රෝග ලක්ෂණ හඳුනාගෙන නැත.
මේ පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කළ සහකාර පොලිස්‌ අධිකාරි එම්. ජයලත් ඇතුළු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඊයේ පෑලියගොඩ පොලිස්‌ නිලධාරීන් පස්‌දෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් අරඹා ඇත.